IOC පිරවුම්හලේ දී සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අති විශේෂ නිවේදනයක්..!

Sri Lanka Army Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 03, 2022 07:58 AM GMT
Report

මොරටුව පරණ පාලම අසල IOC පිරවුම්හලේ ඊයේ (02) ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එමඟින් මෙම සිද්ධියට අදාළ සත්‍ය තොරතුරු පිළිබිඹු නොවන බවත් ඒ තුළින් ගුවන් හමුදාව කෙරෙහි ජනතාව තුළ ඇති ප්‍රසාදය පළුදු කිරීම අරමුණුකොටගෙන මෙය සිදුකර ඇති බවත් හැඟී යන බවද එම නිවේදනයෙහි සඳහන්ය.

රජයේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබාදීමට කිසිසේත් ගුවන් හමුදාව කටයුතු නොකරන අතර මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ආරක්ෂක අංශ සමග ගැටලු ඇති කරනොගෙන ඉන්ධන බෙදාහැරීම සාමකාමීව සිදුකිරීමට මහජන සහයෝගය දැඩිව අපේක්ෂා කරන බවද ගුවන් හමුදාව නිවේදනය කරයි. සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

-උපුටා ගැනීම -

මොරටුව පරණ පාලම අසල පිහිටි නිල්මිණි එන්ට‍්‍රප‍්‍රයිසස් පිරවුම්හල වෙතින් ඉන්ධන ලබාගැනීම සඳහා කූපන්පත් නිකුත්කිරීම 2022 ජුනි මස 26 දින සිට ආරම්භ කරන ලදි. මෙහිදි ඉන්ධන ලීටර් 6600ක ධාරිතාවයිකින් යුත් බවුසර් රථයේ පැමිණීම තහවුරු කරගැනීමත් සමග නියමිත පරිදි පළමුව කූපන්පත් ලබාගත් පරිභෝගිකයින් සඳහා ඉන්ධන හල වෙත පැමිණෙන ලෙසට කෙටි පණිවුඩ මාර්ගයෙන් ඊයේ දින අලුයම (2022 ජුලි මස 02 වන දින) දැනුවත් කරන ලදී. 

 කෙසේවෙතත් එහිදි කූපන්පත් නොමැතිව එම ප‍්‍රදේශයේ ත‍්‍රිවිල් රථ රියදුරන් ඇතුළුව පුද්ගලයින් පිරිසක් ඉන්ධන ලබාගැනීම සඳහා එම ස්ථානයේ පෝලිම් ගැසී රැඳීසිට ඇතිි අතර එම පිරිස වෙත ඉන්ධන ලබාගැනීම සඳහා කූපන්පත් අවශ්‍ය බවත් එම කූපන්පත් ඉන්ධනහල වෙතින් නිසියාකාරව ලබාගන්නා ලෙසත් ඉන්ධනහලේ ආරක්ෂක රාජකාරියේ නිරිතව සිටි ගුවන් හමුදා භටපිරිස් කිහිපවරක් ඔවුන්ව දැනුවත් කර ඇත.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අයතා ලෙස ඉන්ධන ලබාගැනීමේ අවස්ථාවන් මඟහැරවීම සඳහා රජය විසින් අනුමත කර ඇති කූපන්පත් මත ඉන්ධන ලබාදීමේ ක‍්‍රමවේදය යටතේ පළමුව ලියාපදිංචි වී ඇති පරිභෝගිකයින් සඳහා ඉන්ධන ලබාදීමට කටයුතු කරන අවස්ථාවේදී කූපන්පත් ලබා නොගෙන ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයන් මෙම ක‍්‍රමවේදය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීම සඳහා බාධා කරන ලදි.

තවද ඒ අතර සිටි වාහනයක හිමිකමක් පවා නොමැති බීමතින් හැසිරුනු පුද්ගලයෙකු අවට සිටින කූපන් ලබානොගත් පුද්ගලයින් ප‍්‍රකෝපයට පත්කරමින් ඔවුන් සමග ගුවන් හමුදා සාමාජිකයිගේ රාජකාරීයට බාධාවන අයුරින් කලහාකාරීව හැසිරීම ආරම්භ කොට ඇත. එහිදි ගුවන් හමුදා පුද්ගලයෙකුට පහරදීමට උත්සහ කර ඇති අතර තවත් එක් පුද්ගලයෙකු පතුරම් බහලූමෙන් ඇද පරුෂ වචනයෙන් ගුවන් භටයින් හට බැනවැදී ඇත.

පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගුවන් හමුදා අතිරේක භටපිරිස් කැඳවීමට කටයුතු කළ අතර එහිදි මෙම කලහාකාරි ලෙස හැසිරුණු පුද්ගලයා ගුවන් හමුදාව විසින් අවම බලය යොදා පාලනය කොට පොලීසිය වෙත භාරදීමට කටයුතු කොට ඇත. ඉන් පසු ඉන්ධන හලේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කොට නියමිත ආකාරයෙන් කූපන්පත් ලබාගත් පාරිභෝගිකයින් සඳහා නැවත ඉන්ධන ලබාදීමට කටයුතු කරන ලදි.

ඒ අතර තුර කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එමගින් මෙම සිද්ධියට අදාල සත්‍ය තොරතුරු පිළිබිඹු නොවන අතර ඒ තුලින් ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුල ඇති ප‍්‍රසාදය පලූදු කිරීම අරමුණු කොට ගෙන මෙය සිදුකර ඇති බව හැගීයයි.

කෙසේවෙතත් නියමිත ක‍්‍රමවේදයට අනූව ඉන්ධන ලබාගත් පාරිභෝගිකයින් සිය සතුට හා ප‍්‍රසාදය ගුවන් හමුදාවට පලකළ අතර මෙම ක‍්‍රියාවලිය නිසා නීතිවිරෝධිව හා තර්ජනාත්මකව ඉන්ධන ලබාගෙන විවිධ අයතා ව්‍යාපාර කරන අයවලූන්ගේ කටයුතු අඩපණ කිරීමට හැකිවී ඇති බව ඔවුන්ගේ අදහසයි.

ඉන්ධන නිකුත් කිරීම ඉන්ධන හල් හිමිකරුගේ සම්පූර්ණ පාලනය යටතේ පවතින කාර්යක් වන අතර ඉන්ධන හලට ආරක්ෂාව සැපයීම, ඒ අවට මහජන සාමය ස්ථාපිත කිරීම හා ඉන්ධන බෙදාහැරීම නිසියාකාරව සිදුවෙනදැයි අධීක්ෂණය කිරීම මේ අවස්ථාවේ ගුවන් හමුදාවේ ප‍්‍රමුඛ කාර්ය වේ. එබැවින් රජයේ අනුමත ක‍්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබාදීමට කිසිසේත් ගුවන් හමුදාව කටයුතු නොකරන අතර මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ආරක්ෂක අංශ සමග ගැටලූ ඇතිකර නොගෙන ඉන්ධන බෙදාහැරීම සමකාමීව සිදුකිරීමට ගුවන් හමුදාව මහජන සහයෝගය දැඩිව අපේක්ෂා කර සිටි.

-උපුටා ගැනීම අවසන් -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now