වඳුරු උණ සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්..! රෝග ලක්ෂණ සහ ව්‍යාප්ත වන ආකාරය මෙන්න..
වඳුරු උණ (Monkeypox) වෛරස රෝගය පැතිරීම ලොවපුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.
මේ දක්වා අප්‍රිකානු කලාපයෙන් මරණ 05ක්ද සමග ලොවපුරා රටවල් 75කින් වඳුරු උණ ආසාදිතයින් 16,000කට වඩා හඳුනාගෙන ඇති අතර යුරෝපා කලාපය වෛරසයේ කේන්ද්‍රස්ථානයක් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වඳුරු උණ තුන්වන ආසාදිතයාත් වාර්තා වී ඇති අතර දැනට මෙරටින් ආසාදිතයින් හඳුනාගෙන නොමැත.
වඳුරු උණ වෛරසය පළමු වරට හඳුනාගැනෙන්නේ 1958 වසරේ ඩෙන්මාර්ක් රාජ්‍යයේ කෝපන්හේගන්හි රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගැනුණු වඳුරු විශේෂ අතරිනි. පසුව 1970 වසරේදී පළමුවරට මිනිසුන්ටද වෛරසය වැළඳෙන බවට තහවුරු වෙමින් කොංගෝ ජනරජයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් වසූරිය මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වඳුරු උණ සඳහා ද ආරක්ෂාව ලැබීම හේතුවෙන් ඒ පිළිබඳව ගෝලීය පැතිරීමක් වාර්තා වී නොතිබුණි. එහෙත් මේ වසරේ පමණක් ලොවපුරා රටවල් 75කින් ආසාදිතයින් 16,000ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් සියයට 77ක්ම වාර්තා වන්නේ ගෙවුණු ජුනි මස අග සිට ජූලි මුල දක්වා කාලය තුළය.
මේ දක්වා අප්‍රිකානු කලාපයෙන් මරණ 05ක් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් මරණ වාර්තා වී නොමැත. මෙවර වඳුරු උණ වෛරසය පැතිරීම ඉතා අසාමාන්‍ය වන්නේ එය සාමාන්‍යයෙන් අප්‍රිකානු කලාපයට සීමාවූ රෝගයක් ලෙස හඳුනාගෙන තිබුණත් මේ වසරේ උතුරු අමෙරිකානු සහ යුරෝපා මහද්වීපවලින්ද ආසාදිතයින් වාර්තාවීම හේතුවෙනි.
යුරෝපා කලාපය වෛරසයේ කේන්ද්‍රස්ථානයක් වී ඇති අතර වාර්තා වූ ආසාදිතයින්ගෙන් 88%ක්ම අයත් වන්නේ එම කලාපයටය. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 44කින්ද වඳුරු උණ ආසාදිතයින් 2,500කට වඩා හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්ය.
මෙවැනි පසුබිමක වෛරසය ලොව පුරා අඛණ්ඩව ව්‍යාප්තවීමේ අවදානම සලකා වඳුරු උණ වෛරස රෝගය පැතිරීම ලොවපුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. මෙය එම සංවිධානය කිසියම් රෝගයකට ප්‍රතිචාර දක්වන ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමය. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව වඳුරු උණ වෛරසය ආසාදිත වූවන් සති 2ත් 4ත් අතර කාලය තුළ සුවය ලබයි.
රෝගයේ මූලික ලක්ෂණ ලෙස තද උණ සමග ශරීරය පුරා පැතිර යන කුෂ්ඨයක් හෝ බිබිලි සහ වසාගැටිති ඉදිමුම හඳුනාගත හැකිය. මිනිසුන් අතර මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත පුද්ගලයෙකු හෝ සතෙකු සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වන අතර එහිදී ආසාදිතයෙකුගේ තුවාල, ශරීර තරල, ශ්වසන බිඳිති හා භාවිත කළ ඇඳඇතිරිලි, තුවා ආදිය භාවිත කිරීම රෝගය පහසුවෙන් බෝවීමට ඉඩ සලසයි. මෙම රෝගයේ මරණ සිදුවීමේ සම්භාවිතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව සියයට 3ත් 6ත් අතර අගයක් ගන්නා බව සඳහන්ය
. සමලිංගික පිරිමි පාර්ශ්වය අතර රෝගය බහුලව ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව දැනට සිදුකරන ලද අධ්‍යයන වාර්තා මගින් පෙන්වා දී තිබේ. වසූරිය එන්නත මෙම රෝගය සඳහාද භාවිත කළ හැකි අතර නව එන්නත් කිහිපයක් අතරින් එකක් අනුමත කර ඇති බව ලෝක සංවිධානය පවසා තිබේ.
මෙම වසංගත තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. "ලංකාවේ මෙම රෝගී තත්ත්වය තාම හඳුනගෙන නැහැ. නමුත් ලංකාවට පැමිණෙන්න ඉඩකඩ නැතුවම නොවෙයි. රෝගීන් යැයි සැකකෙරෙන අය වාර්තා වුනොත් වහාම දැනුම්දෙන්න. විදෙස්ගතවී පැමිණි කෙනෙකුට යම් උණ තත්ත්වයක් හෝ මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ බව වෛද්‍යවරයෙකුට දැනුම්දෙන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |