පණ අදින්නන්ගේ පවා පණ රකින මී ගස ...

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka Sri Lanka Government
By Subodha Jul 04, 2022 09:31 AM GMT
Subodha

Subodha

in රචනා
Report

මී ගස යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ කුඹුරු යායක් අසළ පිහිටි විශාල ගසක රූපයක් සහ මී තෙල් යන නාමය පමණි. නමුත් මී ගස යනු, වටිනාකම් සමුදායකින් යුක්ත අමිල වෘක්ෂයක් බව බොහෝ දෙනා නොදනී. “ජාතියේ පොහොර ගස” යන අන්වර්ථ නාමයෙන් ද මෙම ගස හඳුන්වනු ලබයි. ඉතින් එයින්ම මී ගසේ වටිනාකම පිළිබඳව පුංචි ඉඟියක් අපට ලබාදෙයි. ඊටත් එහා ගිය පාරිසරික ඖෂධීය හා ඓතිහාසික වටිනාකම් රැසකගෙන් මී ගස පරිපූර්ණය. දැනට ලෝකයේ මී ගස් විශේෂ 7ක් පමණ දක්නට ලැබෙන අතර විශේෂත්වය නම් එයින් 4ක්ම අපටම ආවේණික ඒවා වීමයි. හොදින් වැඩුණු මී ගසකින් වාර්ෂික ඵලදාව කිලෝ ග්‍රෑම් 20 සිට කිලෝ ග්‍රෑම් 200 දක්වා ලබා ගත හැක. ගසට වයස අවුරුදු 10 දී ඵලදාව ලබදීම ආරම්භ වන අතර වයස අවුරුදු 60 පමණ දක්වා ඵලදාව ලබා ගත හැක.තරුණ ශාක වලට වඩා පරිණත ශාක මගින් වැඩි අස්වැන්නක් ලබා දෙයි.

මෙරට මී ගසෙහි විද්‍යාත්මක නාමය වනුයේ _Madhuka longifolia_ වේ. මී ගහ 20m පමණ උසට වැඩෙන අතර කඳෙහි අළු පැහැති පොත්තක් දැකිය හැක. වසර මැද එනම් ජුනි හා ජූලි මාසවලදී මී ගසේ මල් හටගනී. එම මල් කහ පැහැයට හුරු සුදු පැහැයක් ගනු ලබයි .

මී ගස වවුලන්ට හොද වාසස්ථානයකි. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුඹුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමණ ප්‍රමාණයක යූරියා කිලෝ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්‍රජන් ලැබෙනවා. මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ. නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය (නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස්) ලබාදෙනවා. ඒ වගේම මී ගසේ කොල වැටෙන්න කෙලින්ම කුඹුරට. ඒ කොලත් කුඹුරට පොහොරක් වෙනවා. අපගේ වකුගඩු නරක්වීමට ප්‍රදානම හේතුව රසායනික පොහොර වල තිබෙන බැරලෝහයි. නමුත් මී ගස හරිහැටි ප්‍රයෝජනයට ගන්නවානම් අපිට වකුගඩු ප්‍රශ්නයක් ඇතිවන්නේද නෑ. සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගස දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි.

මී ගසේ ඇට භාවිතා කර සිඳින තෙල්වලට ආර්ථිකමය වටිනාකමක් හිමිව තිබෙනවා. එහි ඕලෙයික් අම්ලය, සිට්‍රික් අම්ලය, සහ ලිනොලයික් අම්ලය වැනි අම්ල වර්ග කිහිපයක් අඩංගු යි. මී තෙල්වල ගුණදායක බව නිසා මී තෙල් යොදා සකස් කරන ආහාර වර්ග අනුභව කිරීමෙන් කොලෙස්ටෙරෝල් සහ අර්ෂස් වැනි රෝග තත්ත්වයන් සමනය කළ හැකි බවට මතයක් පවතිනවා.

හෙළ වෙදකමේ දී සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී කරන ඇතැම් ප්‍රතිකාර සඳහා මී ශාකයේ විවිධ කොටස් යොදාගනු ලබනවා. මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට ආදී සියලු කොටස් බෙහෙත් සෑදීම සඳහා භාවිතා කරනවා. මී ඇටවලින් සිඳින මී තෙල් විවිධ කැක්කුම් සමනය කිරීම සඳහා වේදනා නාශකයක් ලෙස යොදාගනු ලබනවා. එසේම මී තෙල් වලින් සාදන ලද බාම් වර්ග අද වන විට වෙළඳපොළේ දක්නට ලැබෙනවා.

එසේම හොඳ ඔසුවක් වන මී ගසේ පොතු කැඩුම් බිඳුම් ප්‍රතිකාර කිරීමට සඳහා යොදාගන්නවා. තව ද හන්දිපත් වේදනාව සමනය කරගැනීම සඳහා මී පොතු කසාය බීම වඩාත් ගුණදායක යි. මී පොතු වියළා ලබාගන්නා කුඩුවලින් එම පානය සකස්කර ගන්නවා. මී ගසේ ඇට මඟින් සකසන පානයන් මඟින් පුරුෂයන්ගේ ශුක්‍රාණුවල දෝෂ නැතිවී යන බව පැවසෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට මී මල් භාවිතා කර සාදාගන්නා මධු කසාය ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරී වනවා. ස්නායු ශක්තිමත් කිරීමටත්, බඩ වේලීම වැනි තත්ත්වයන් සමනය කර ගැනීමටත් මී තෙල් හොඳ ඔසුවක්. සමේ ඇතිවන දද, කුෂ්ඨ සුව කිරීමට ද මී තෙල් යොදාගන්නවා. ඊට අමතරව සෙම් රෝග, හිස කැක්කුම් ආදියේ දී යොදාගන්නා නස්න කර්ම සඳහා මී ඇට භාවිතා කරනවා.

ඈත අතීතයේ දී කුප්පි ලාම්පු දැල්වීම නිසා මිනිසුන්ගේ ඇස්වල ඇතිවුණු දැවිල්ල අඩු කිරීමට මී තෙල්වලින් කුප්පි ලාම්පු දල්වනු ලැබුවා. ඉන් ඇස්වලට සහනයක් ලැබුණු බව කියැවෙනවා. ඊට අමතරව සර්පවෙදකම, උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ක්ෂයරෝගය සහ මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සදහා මී ගසෙන් ලබාගන්නා කොටස් භාවිතා කළා.  

මිහින්තලේ පුවරු ලිපියට අනුව, විහාර භූමියට අයත් තල, මී ආදී ශාක ඵල හට ගන්නා ශාක ප්‍රධානීන්ගේ අවසරය නොමැතිව කැපිය නොහැකිය. මේ ඉඩම් උකස් කර විකිණීමෙන් ද වැළකිය යුතු බවත්, එසේ කළ හොත් ඔවුන් රටින් නෙරපා හැරිය යුතු බවටත් නියෝග කර තිබේ. හතර වැනි කාශ්‍යප රජතුමා විසින් සෑගිරියෙහි විසූ බුද්ධමිත්‍ර භික්ෂුවට, මී ගස් වත්තක් සහ සියඹලා වත්තක් පූජා කිරීමක් පිළිබඳ බුද්ධන්නේහෙල ස්ථම්භ ලිපියෙන් තොරතුරු හෙළි වේ. තුන්වැනි කාශ්‍යප විසින් මිහින්තලාවට කරනු ලැබූ ඉඩම් ප්‍රදානයක දී, එහි ඇති මී ගස් සහ සියඹලා ගස් නොකපන ලෙසට අණ කර තිබේ. එසේ කැපුවහොත්, ඔවුන්ගෙන් දඩ අය කර ගත යුතු බව එම ශිලා ලිපිය සඳහන් කරයි.

මේ තොරතුරු අනුව පෙනී යන්නේ, මේ ශාකය මායිම්ව පමණක් යොදා නොගත් අතර, විශාල ආර්ථික වටිනාකමක් ද හිමිකර ගත් බවයි. මේ අනුව පරිසරයේ ඉතා වැදගත් අංගයක් වන වන සම්පත ආරක්ෂා කිරීම පිළිබඳ අතීත පාලකයන් තම අවධානය යොමු කළ අතර, ඒ අතරින් මී ගසට ප්‍රධාන තැනක් හිමි වූ බව පෙනී යයි. ඒ නිසා, මී ගස වනාන්තරයක පරිසරාත්මක වටිනාකමකින් මෙන්ම, ආර්ථික වටිනාකමකින් ද යුක්ත වුණි. ගස් කැපීම, නීතිරීති මඟින් පාලනය කිරීමෙන්, ශාක සම්පත සංරක්ෂණය කිරීමට ගත් පියවර ශිලා ලේඛනවල වාර්තාවේ. සීගිරි ගලේ වැඩුණු යම් යම් ගස් කැපීම කිසිවකු විසින් හෝ කළ නොයුතු බවට තහනම් කරමින් පනවන ලද නියෝග, මිහින්තලේ කුලුනු ලිපියෙහි සඳහන් වේ. මෙහි සඳහන් වන වෘක්ෂ අතර, මී ගස් ද සඳහන් වේ. රාජ්‍ය නීතිය මඟින්, වන සම්පත සංරක්ෂණයෙහිලා දක්වන ලද අවධානය මෙයින් සනාථවේ. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now