"හෙණයකින් " මුළු ලෝකයම බලගන්වන්න පුළුවන් බව දන්නවද?

World Environment Day
By Wayomi May 07, 2022 03:53 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
"හෙණයක්" කියන වචනය ඇහෙන්නේ නැති කටක් මේ දවස් වල හොයාගන්නත් නැති තරම්. කවුරු මොන මොන හෙණ ගැන කතා කළත්, මේ කියන්න යන්නේ වැස්සත් එක්ක ගිගුම් දෙන හෙණ හෙවත් අකුණු ගැනයි.

උපත

⚡අකුණක් උපදින්නේ ගිගුරුම් සහිත වලාකුළක් තුළ, සීතල උෂ්ණත්වය සහ වාතය ඉහළ යාමත් සමඟ. ඒ කාලය තුළ වායුගෝලයේ හෝ භූමියේ විද්‍යුත් ආරෝපිත කලාප දෙකක් තාවකාලිකව සමාන වන අතර ඒ මඟින් ගිගාජූල් ශක්තියක් ක්ෂණිකව මුදා හරිනවා.
⚡ ලෝක ගෝලයේ ඇතිවන අකුණු වලින් වැඩිම ප්‍රමාණයක් වර්ධනය වන්නේ කැටිවැහි වලාකුළු වල. හොඳින් ආරෝපණය වු කැටි වලාකුළක පහළ කොටසේ ඍණ ආරෝපණ (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණ ( +) පවතිනවා.
⚡ දැන් මෙම වලාකුළට දරාගත නොහැකි තරම් තැම්පත් වී ඇති ආරෝපණ හේතුවෙන් වළාකුළේ පහළ පෘෂ්ඨයේ ඇති ඍණ ආරෝපණ වාතය නැමැති පරිවාරක මාධ්‍යය හරහා ඉතා කෙටි කාලයක් තුලදී පැයට සැතපුම් 270,000 ක වේගයෙන් පොලොවට පතිත වෙනවා. ඒ, වලකුළෙහි පහල ප්‍රදේශය හා පොලව අතර ඉතා විශාල විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින නිසයි. මෙම විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය මීටරයට වෝල්ට් දස ලක්ෂයක් පමණ වුණත් වෙන්න පුළුවන්.

ගිගුම් හඬ

⚡ ගිගුරුම් හඬ අකුණු ගැසීමට වඩා ඉතා අඩු වේගයකින් තමයි ගමන් කරන නිසා, අකුණු සැර වැදීමකින් පුළුවන් ඔයා සිටින දුරත්, අකුණු ගසන දුරත් තක්සේරු කරන්න. සාමන්‍ය ශබ්දය වාතයේ තත්පරයට මීටර් 343 ක වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා ගිගුරුම් හඬ තත්පර 3 කින් කිලෝමීටර 1 ක් පමණ ගමන් කරනවා.
⚡ වේගවත් වීම මෙන්ම, අකුණු මඟින් අවට වාතය හිතාගන්නවත් බැරි තරම් ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. අකුණු සැර ගමන් කරන වායු නාලිකාවේ උෂ්ණත්වය 30,000˚C දක්වා ළඟා වීමේ හැකියාවක් තියෙනවා.
⚡ අකුණු සැර වැදීමත් සමඟ ඇති වන ගිගුරුම් ඇති කරන්නේ මෙම අධික උෂ්ණත්වයයි. අසල වාතය උණුසුම් කිරීම එය වේගයෙන් ප්‍රසාරණයට හේතු වෙනවා. පසුව එය සිසිල් වී හැකිලී යනවා. එමඟින් ගිගුරුම් ලෙස හඳුන්වන සොනික් කම්පන තරංගය නිර්මාණය කරනවා.

කුණාටුවක් එන සුවඳ දැනිලා තියෙනවද?

⚡ කවදාම හරි දවසක කුණාටුවක් එන සුවඳ ඔයාටත් ඇවිල්ලා ඇති. ඒ විදිහට කුණාටුවකට කලින් දැනෙන අමුතු මිහිරි, තියුණු සුවඳ ඕසෝන්. අකුණු මඟින් වායුගෝලයේ ඇති ද්වි පරමාණුක ඔක්සිජන් අණු තනි ඔක්සිජන් පරමාණු බවට බෙදී යනවා. මේවා පසුව අනෙකුත් ඔක්සිජන් අණු සමඟ එකතු වී ඕසෝන් සෑදෙනවා.
⚡ සමහරවෙලාවට අකුණු වල හටගන්නා නිල්-වයලට් පැහැය එය වාතයේ ඇති අයනීකරණ අණු වල ප්‍රතිපලයක්.විශේෂයෙන් උද්දීපනය වූ නයිට්‍රජන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු විමෝචනය වීම මෙම වර්ණවලට හේතු වෙනවා.
⚡ අකුණු මඟින් ඇති වන ඉහළ උෂ්ණත්ව වලදී, නයිට්‍රජන් සහ ඔක්සිජන් එකට එකතු වීමට ප්‍රමාණවත් ශක්තියක් ඇති අතර එය නයිට්‍රජන් ඔක්සයිඩ් සාදනවා.
⚡ මෙම නයිට්‍රජන් ඔක්සයිඩ් වැසි ජලයේ දිය වී ශාක වර්ධනයට වැදගත් වන නයිට්‍රේට් ද නිපදවනවා. සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලී නොවන නයිට්‍රජන් ශාකවලට භාවිත කළ හැකි නයිට්‍රේට් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ‘නයිට්‍රජන් සවි කිරීම’ ලෙස හඳුන්වන අතර අකුණු මඟින් වසරකට නයිට්‍රජන් ටෙරාග්‍රෑම් 3-10 දක්වා පරිසරයට මුදා හරිනවා.
⚡ අකුණු මඟින් ඇති කළ හැකි ක්‍රියාවලීන්ගේ අවසානය ඒක නෙවෙයි. අකුණු මඟින් නිකුත් කරන ගැමා කිරණ මගින් වායුගෝලයේ කුඩා පරිමාණයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා පවා ඇති කළ හැකි බව මෑත කාලීන පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා . මෙම ස්වාභාවික ක්‍රියාවලියට නයිට්‍රජන්, ඔක්සිජන් සහ කාබන් යන විවිධ සමස්ථානික ජනනය කරන්න පුළුවන්.

අකුණක් ගබඩා කළොත් මුළු ලෝකයම පෝසත්

⚡ සාමාන්‍ය අකුණු සැරයක දළ වශයෙන් ජූල් බිලියනයක (1,000,000,000) ශක්තියක් අඩංගු වෙනවා. එය විශාල බලයක්. සෑම වසරකම, අකුණු සැර බිලියන එකහමාරකට වඩා අපගේ වායුගෝලයට මුදා හරිනවා. ඉතින් මේ සෑම අකුණකින්ම කොතරම් ශක්තියක් නිර්මාණය වෙනවා ඇත්ද?
⚡ පෘථීවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර 25000 ක් පමණ වන අතර වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100 ක් පමණ වෙනවා.
⚡ ඒ අනුව කුලෝම්බ 5 ක පමණ විද්‍යුත් ආරෝපණයක් පෘථීවිය වෙත ගෙන එන අකුණු ධාරාවක් සතු ශක්තිය ජූල් මිලියන 500 ක් පමණ විශාල අගයක්. මෙයින් අකුණු පහරකට කොපමණ විනාශයක් කළ හැකිද යන්න තීරණය කිරීමට පුළුවන්.
⚡ අකුණක් සතු ආරෝපණය යම්කිසි ආකාරයකට ගබඩා කරගතහොත් එම ආරෝපණය ශි‍්‍ර ලංකාව වැනි රටක අවුරුදු 10ක පමණ විදුලි අවශ්‍යතාව සැපිරීමට තරම් ප්‍රමණවත් වෙනවා.
⚡ ඒ වගේම සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ නිවසක් මාස හතරකට පමණ බල ගැන්වීමට ප්‍රමාණවත්. කෙසේ නමුත් අකුණු වල බලශක්තිය ගබඩා කරන්න ලෝකයේ කොහෙවත් කිසිදු ක්‍රම්ව්දයක් තවමත් සොයාගෙන නැහැ. බලවත් රාජ්‍යයන් පවා ඒ වෙනුවෙන් විවිධ අත්හදා බැලීම් සිදු කරනවා.