කෘමි විකර්ශක ගෙදරදීම හදන්න.

Sri Lanka
By Wayomi May 27, 2022 12:29 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස්වල හැමෝම වගාවට බැහැලා. හැබැයි ඉස්සර වගේ දැන් වගාවන්ට දාන්න ගන්න පොහොර නැහැ. කොච්චර කොහොම වැඩක් නැහැ කියලා කිවුවත් වගාවන් වල කෘමින් මර්ධනය කරන්න සුදුසුම ක්‍රම ස්භාවික ක්‍රම. ඉතින් ගෙදර ඉඳන් දැන් ඔබ කරන වගාවල් වලට හානි කරන කෘමින් පලවා හරින්න මේ ක්‍රම ටික අත්හදා බලන්න. වගාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ.

1. ශාක යුෂ භාවිතය

පළිබෝධනාශක ගුණය සහිත විවිධ ශාක කොටස් පල් කර හෝ තම්බා, තලා හෝ වෙනත් ක්‍රමයකින් ගන්නා යුෂ, ශාක සාර පළිබෝධනාශක වේ. කොහොඹ, වල් හිඟුරු, මුරුංගා, කලවැල්, මඟුල් කරඳ, කැප්පිටියා, වල් සූරියකාන්ත, අරූද හා අරලිය වැනි ශාක කොටස් මේ සඳහා බහුලව යොදා ගැනේ. 

- කොහොඹ සහ කරඳ ශාකවල ලපටි කොළ හෝ දළු දින 14 ක් ගොම දියරය සමඟ පල් කර යෙදීමෙන් බෝග වලට සිදුවන පණු හානි වලක්වා ගත හැකියි.

- මුරුංගා කොළ හා පොතු පල් කර ඉසීමෙන් බෝග වලට ඇතිවන දිලීර රෝග වළක්වා ගන්න පුළුවන්.

- කලවැල් පමණක් පල් කර එහි යුෂ බෝගවලට යෙදීමෙන් කෘමීන් පළවා හැරිය හැකියි.


2. දුම්කොළ භාවිතය

- දුම්කොළ නැටි, කඳ හෝ දුම්කොළ පල් කිරීමෙන් ලබා ගන්නා යුෂ කෘමිසතුන් පළවා හැරීමට සහ ගොළුබෙල්ලන් මර්දනයට යොදා ගැනේ.

- දුම්කොළ, කුඩු තේ හැදි 04 ක් පමණ නටන උණු වතුර ලීටර් 01 කට එකතුකර, හොදින් කලවම්කර, එම ද්‍රාවණය, දෙගුණයකින් සැර බාලකර වගාවන්ට යෙදීමෙන් සියලු කෘමීන් මර්දනය කළ හැකියි. 


3. මිරිස් ද්‍රාවණය

- වෛරස් රෝග, කුඩිත්තන්, කුහුඹුවන් සහ දළඹුවන්, වැනි සතුන් මර්ධනය සඳහා වියලි මිරිස් ග්‍රෑම් 100 ක් හොදින් අඹරා ජලය ලීටර් 01 ක මිශ්‍ර කර හොඳින් පෙරා, එම ද්‍රාවණයේ සැර හතර ගුණයකින් බාලකර, බෝගවලට යෙදීම සුදුසුය. මෙම ද්‍රාවණයේ ක්‍රියාකාරීත්වය වැඩිකර ගැනීම සදහා රතුලූණු හෝ සුදු ලූණු බික් කිහිපයක් අඹරා මිශ්‍ර කරගත හැකියි.


4. කොච්චි ද්‍රාවණය

- දිලීර රෝග පාලනය සඳහා කොච්චි ද්‍රාවණය භාවිතා කෙරේ. ඉදුණු කොච්චි ග්‍රෑම් 25 ක් හොඳින් අඹරා, එය වතුර ලීටර් 10 ක් සමඟ මිශ්‍ර කර පැය 24 ක් පල්වීමට හැර, දිලීර රෝග සහිත බෝගවලට ඉසිය යුතුය. දිනපතා කොච්චි ද්‍රාවණය යෙදීමෙන් වෛරස් රෝගවලට පවා එරෙහිව ක්‍රියාත්මක වෙනවා.


5. සුදු ලුණු භාවිතය

- සුදු ලුණු ග්‍රෑම් 100 ක් සහ සබන් ග්‍රෑම් 10 ක් සිහින්ව අඹරා, භුමිතෙල් මේස හැදි 2 ක් සහ වතුර ලීටර් ½ ක් එයට මිශ්‍රකර පැය 24 ක් තබා, මිශ්‍රණය කොටස් එකකට ජලය 20 ක් වනසේ ජලය යොදා, කෘමි සතුන් සිටින බෝගවලට යෙදිය යුතුයි.

- සුදු ලුණු ග්‍රෑම් 50 සිහින්ව අඹරා වතුර ලීටර් 01කට දියකර කෘමි සතුන් සිටින බෝගවලට ඉසීමෙන් කෘමි සතුන් මර්ධනය වෙයි.


6. කොහොඹ භාවිතය

- මෙම ශාකය සියලු ආකාරයේ පළිබෝධ මර්ධනය සඳහා යොදා ගැනේ. කොහොඹ කොළ, මල් හා පොතු මෙන්ම කොහොඹ ඇට බහුලව පලිබෝධ නාශක සැකසීම සදහා යොදා ගැනෙන අතර කොහොඹ ඇට වල පලිබෝධ නාශක ගුණය වැඩිය. පණු හා දළඹු වර්ගවලටත්, කුරුමිණි කීටයන්, පලගැටියන්, පත්‍ර විදින්නන්, පත්‍ර හා පැළ කීඩෑවන්, පරිනත වැඩිහිටි කුරුමිණියන් මර්ධනය සදහාත්, කොහොඹ සුවිශේෂී පලිබෝධ නාශකයකි. ගොවි බිමට මෙන්ම බිජ කල්තබා ගැනීම ආදී, ගොවි බිමෙන් බැහැරව සිදුවන පලිබෝධ හානිවලටත් කොහොඹ කොළ හා ඇට යොදා ගැනේ. 


කොහොඹවල ඇති කෘමිනාශක ගුණය හිරු රශ්මියට විනාශ වෙනවා. ඒ නිසා සවස් වරුවක වගාවන්ට යෙදිය යුතුයි. කොහොඹ දියරය පෙරා, ඉතිරිවූ කොහොඹ රොඩු පාත්තිවලට දැමිමෙන් පොළොවෙන් මතුවෙන වේයන් ආදී කෘමින් මර්දනය වෙනවා. බෝගවල මල් පිපෙන අවදියේ බෝගවල මුල බිත්තර දමන අවුලකපෝරා වැනි සතුන් පවා කොහොඹ රොඩු පස හා මිශ්‍ර කිරීමෙන් මර්දනය වෙයි. විශේෂයෙන් පතෝල, වැටකොළු, කරවිල වැනි ගොඩ බෝග සදහාත් වී වගාවේ පුරුක් පණු හානිය සදහාත් කොහොඹ නිර්දේශිතය. එබැවින් පාරිසරික ගොවිතැනේදී කොහොඹ මිශ්‍රණය භාවිතා කිරීම අනිවාර්යයි.