රුසියාව "සියලු බෝම්බ වල පියා" භාවිතයට සැරසේ..?මේ වන විට පවත්නා බිහිසුනු යුද්ධයේ නවතම තත්ත්වය...(Live Update)

Russia Poland Ukraine Sri Lankan Turky
By Sewvandhi Feb 26, 2022 02:40 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

02/26/2022 Update 

කියුව් නගරයට රුසියානු හමුදා වලින් දැවැන්ත ප්‍රහාර.. 

කියුව් නගරයට මේ වනවිට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියුව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ, ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වන අතර රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බවය.

එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් කුමන තත්ත්වයක වුවද තමන් යුක්‍රේනය අතහැර නොයන බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. 

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,

"සියලුදෙනාටම සුබ සන්ධ්‍යාවක්, අපගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා මෙහි සිටිනවා.  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මා සමග සිටිනවා. අගමැතිවරයාත් මෙහි සිටිනවා. ජනාධිපති උපදේශකවරයාත් මෙහි සිටිනවා. ඔබගේ ජනාධිපතිවරයාත් මෙහි සිටිනවා. අපගේ හමුදාවන් සහ පුරවැසියන් ද මෙහි සිටිනවා. අපි සියලුදෙනාම අපේ රටේ නිදහස සුරැකීමට මෙහි සිටිනවා. ඒ වගේම අපි තවදුරටත් එය සිදුකිරීමට සූදානම්. අපගේ ආරක්ෂකයින් සදා දිනේවා, යුක්‍රේනයද සදා දිනේවා, අපගේ වීරයන්ද සදා දිනේවා."

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් යුක්‍රේන හමුදාවට පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු යුක්‍රේන හමුදාවට දැනුම් දෙන්නේ සිය නායකයා බලයෙන් පහකර තමන් අතට බලය ලබාගන්නා ලෙසය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, 

"නැවතත් මම යුක්‍රේන ආරක්ෂක අංශයන්ගෙන් අයදිනවා. ඔබගේ දරුවන්, බිරින්දෑවරුන් සහ වැඩිහිටියන් මානව පළිහක් ලෙස භාවිත කිරීමට නාසි කණ්ඩායම් වෙත අවස්ථාව ලබාදෙන්න එපා. ඔබගේ බලය ඔබේ අතට ගන්න. ඒ තුළින් අපිට එකඟවීම් ඇතිකර ගැනීමට පහසු අවස්ථාවන් උදාවනවා. නැත්නම් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වු නාසි කණ්ඩායම් කියුව් බලය අත්පත් කරගනිමින් සමස්ත යුක්‍රේනයේම ජනතාව ප්‍රාණ ඇපයට ගනීවි."

එමෙන්ම රුසියානු ජනාධිපති පුටින් යුක්‍රේනය සමග සාකච්ඡා සඳහා කැමැත්ත පළකර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යුක්‍රේන ආක්‍රමණය කිරීම හෙළාදකින යෝජනාව සිය නිශේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමට රුසියාව පියවර ගත්තේය.

යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස රුසියාව, අදාළ යෝජනාවට එරෙහිව සිය නිශේධ බලය භාවිත කිරිම හමුවේ මෙම යෝජනාව අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එය රුසියාවට සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් බවය.

මේ වනවිට කියුව් නගරයට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතී. රුසියානු හමුදාවන් මේ වනවිට කියුව් අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය අත්පත්කර ගෙන තිබේ.

ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200ක් සහ එයාර්බෝන් හෙවත් ගොඩබෑමේ බළකායක් යොදාගත් බවට සඳහන්ය. මේ අතර කියුව් ආසන්නයේදී පැරණි සෝවියට් සමූහාන්ඩුවවේ ධජය සහිතව ගමන් ගත් රුසියානු යුද ටැංකියක් ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

රුසියාව කිසිදා බලාපොරොත්තු වූවාට වඩා ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් කියුව් අගනුවරදී මුහුණ දීමට සිදුව තිබේ. යුක්‍රේනය අවි දැරිය හැකි සියලුම පුරවැසියන්ගෙන්, සිය මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටි අතර සටන් බිමට පිවිසීමට ඔවුන්ට අවි ආයුධ  ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත එක්වී තිබුණි.

ඒ අතර කියුව් වෙත ඇතුළුවීමට පවතින ප්‍රධාන මාර්ගයක් හරහා ඇති පාලමක් පුපුරවා හැරීමටත් යුක්‍රේනය කටයුතු කර තිබේ. යුක්‍රේන හමුදාවේ ඉංජිනේරු බලකායේ සෙබළෙක් පාලම පුපුරුවා හැර ඇත්තේ රුසියානු ගමන අඩපන කිරීම වෙනුවෙන් සිය ජීවිතයද අහිමිකර ගනිමිනි.

රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය විසින් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා රුසියාව තාප බෝම්බ (Thermobaric) යොදාගැනීමට ඉඩකඩ පවතින බව බටහිර රටවල් අනතුරු අඟවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව සිදුකරන ගොඩබිම් සටන්වලදී රුසියාවට අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රතිප්‍රහාර එල්ලවීම නිසා ඔවුන්ගේ යුද සැලැස්ම ප්‍රමාදවීම මීට ආසන්නතම හේතුව බවය.

න්‍යෂ්ටික නොවන සියලු බෝම්බවල පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම බෝම්බ මෙතෙක් නිපදවා ඇති බලවත්ම න්‍යෂ්ටික නොවන අවි අතර ප්‍රධානත්වයක් උසුලයි.

මේ අතර මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ යුද ගැටුම්වලට මැදිව සිටින යුක්‍රේන සාමාන්‍ය ජනතාව දෙසටය. පැය 48ක කාලය තුළ 50,000කට ආසන්න වැසියන් පිරිසක් පෝලන්තය, මෝල්ඩා, රුමේනියාව ඇතුළු අසල්වැසි රටවල්වලට පළා ගොස් තිබුණි.

කියුව් නගරය ගුවන් ප්‍රහාරයන්ට ද ලක්වෙමින් පවතින අතර, නගරවාසීන් රැකවරණය පතා භූගත දුම්රිය ස්ථානවලට එක්රොක්ව සිටී. ජනතාව විශාල වශයෙන් ගම් බිම් අතහැර පළායාම හේතුවෙන් කියුව් දුම්රිය සේවාවන්හි දැඩි තදබදයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වයස අවුරුදු 18 ත් 60 ත් අතර සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කර ඇති පසුබිමකය.

02/26/2022 Update 

පුටින් සාකච්ඡාවට සූදානම්..

මොස්කව් ආක්‍රමණයේ දෙවන දිනයේ රුසියානු හමුදා කියෙව් වෙත ළඟා වූ විට, රුසියාව යුක්රේනය සමඟ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක්හිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසූ බව රුසියා නිිල පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

මින්ස්ක් යනු පෙර පැවති සාම සාකච්ඡා සහ ගිවිසුම් සඳහා සත්කාරක නගරය විය. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ, මීට පෙර යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාම සාකච්ඡා වට වටයක් පැවැත්වූ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක් වෙත “යුක්‍රේන නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා සඳහා” ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් යැවීමට රුසියානු නායකයා “සූදානම්” බවයි.

නමුත් ඒ සඳහා යුක්රේනය "මධ්‍යස්ථ තත්වයක්" ප්‍රකාශ කළ යුතු බව ඔහු පැවැසීීය. හමුදාකරණයෙන් ඉවත් වීම යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවිය යුතු වීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ. .

යුක්රේන ජනාධිපති මෙම ගැටලුව විිසඳා ගැනම වෙනුවෙන් රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරම සඳහා කැමතිි බවට ප්‍රකාශ කර තබේ. කෙසේ වෙතත් එය යථාර්ථයක් වීම සඳහා යුක්රේන ජනපතිවරයා රුසියාව් කොන්දේසි සඳහා කැමැත්ත ප්‍රකාශ කළ යුතු වෙයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky සති ගණනාවක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී රුසියාවේ නායකයා සමඟ සාකච්ඡා සඳහා නැවත නැවතත් ඉල්ලා සිටි අතර එහිදී බටහිර රටවල් පුටින් ප්‍රහාරයක් දියත් කිරීමෙන් වළක්වා ගැනීමට උත්සාහ කළේය.

පුටින් යුක්රේනයට හමුදා එවන බව ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර, සෙලෙන්ස්කි පැවසුවේ ක්‍රෙම්ලිනයේ ප්‍රධානියා ඇමතීමට උත්සාහ කළ නමුත් "පිළිතුරක් නැත, නිශ්ශබ්දතාවයක් පමණි". රුසියානු හමුදා කියෙව්හි බලය අල්ලා ගන්නා විටද සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා බල කරමින් නව ප්‍රකාශයක් නිකුත් කළේය.

"මම නැවත වරක් රුසියානු සමූහාණ්ඩුවේ සභාපතිවරයා ඇමතීමට කැමතියි. යුක්රේනය පුරා සටන් සිදුවෙමින් පවතී. මිනිසුන්ගේ මරණ නැවැත්වීමට අපි සාකච්ඡා මේසයේ වාඩි වෙමු," ඔහු පැවසීය. ඔහු එසේ කළේ නැගෙනහිර යුක්රේනයේ මොස්කව් හිතවාදී බෙදුම්වාදී ජනරජ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමෙන් පසුවය.

බටහිර රටවල් ඊට ප්‍රතිචාර වශයෙන් මොස්කව් වෙත ජාත්‍යන්තර සම්බාධක රාශියක් පනවා ඇති නමුත් යුක්රේනය පවසා ඇත්තේ ඊට වඩා වැඩි යමක් කළ යුතු බවයි. මීට පෙර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළේ යුක්රේන හමුදාව අවි බිම තබන තුරු සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.

02/26/2022 Update 

යුක්රේන ජනපති පැන ගියාද..?

තමා යුක්‍රේන අගනුවර වන කියුව් නගරයෙන් පළාගොස් නොමැති බව එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. කියුව් නගරයේ තවදුරටත් රැඳී සිටින බවට විඩියෝවක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තමා සමග අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපති උපදේශකවරයාත්, ජනාධිපති කාර්යාල ප්‍රධානීයාත් රැඳී සිටින බව ප්‍රකාශ කරමින් එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

තමන් යුක්‍රේන අගනුවරේ තම ජනතාව සමග තවදුරටත් රැඳී සිටින බව එම විඩියෝව මගින් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මේ අතර, කියුව් නගරය තවදුරටත් රැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන්ට ස්වංක්‍රීය ගිනි අවි ලබාදී ඇති බව ද සඳහන් වේ. ඊට අමතරව අගනුවර තවදුරටත් රැක ගැනීම සඳහා ජනතාව සමග සටන් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර යුක්‍රේන අගනුවර වන කියුව් නගරය සහ ඒ අවට තවදුරටත් දරුණු ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගනුවර ආසන්නයේ ඇති වැසිල්කියුව් නගරයේ රුසියානු හමුදා සහ යුක්‍රේන හමුදා අතර තවදුරටත් සටන් පවතින අතර කියුව් නගරයේ ස්ථාන බොහෝමයකින් පිපිරුම් හඬවල් රැසක් අසන්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ප්‍රකාශයක් කරමින් පැවසුවේ යුරෝපය ඇතුළු බටහිර රටවල් තමාව තනි කර ඇති බවය. සටන් විරාමයකට තවදුරටත් ආරාධනා කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා ඇත.

02/26/2022 update 

යුක්රේනයේ සාමය ගැන බලාපොරොත්තුවක්..

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කිගේ ප්‍රකාශකයා සඳහන් කළා.

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියාව ද ඊයේ ප්‍රකාශ කළ අතර, ඒ සඳහා යෝජනා කර තිබුණේ බෙලරුස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර යි.

එහෙත් පෝලන්තයේ වෝර්සෝ නුවර යුක්රේනය විසින් යෝජනා කර තිබුණා.

මේ අතර යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් වෙත සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ, එක්සත් රාජධානියේ සහ කැනඩාවේ පවතින ඔවුන්ගේ වත්කම් තහනම් කෙරෙන අතර, එම රටවල සංචාරය කිරීම ද තහනම් වනවා.

02/26/2022 update 

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දැකීමේ යෝජනාවක් ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී ඊයේ පරාජයට පත්වුණා. ඒ, ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාව නිෂේධ බලය භාවිත කිරීම හේතුවෙන්.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා අතුරෙන් 11 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, ඉන්දියාව, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවට යාමට ඉල්ලීම් කළ යුක්‍රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේ තොරතුරු පෝලන්ත දේශසීමා බලධාරීන් වෙත ලබා දුන් බව යුක්‍රේනයේ කියෆ් වෙත සමගාමීව පිහිටුවා ඇති තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති ආර්.හසන් පවසනවා.

එලෙස කැමැත්ත පළ කළ පිරිසට ආරක්ෂා සහිත ව පෝලන්ත දේශසීමාව වෙත ගමන්කරන ලෙස දැනුම්දුන් බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

යුක්‍රේනයේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු රැඳී සිටින අතර 20 දෙනෙකු පමණ කියෆ් අගනුවර සිටින බව තානාපතිවරයා සඳහන් කළා.

මෙතෙක් වාර්තා වූ යුක්රේන් රුසියන් අර්බුදයේ සියලු තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now