රටම හෙල්ලූ හෙළකුරු නිර්මාණය කළේ කවුද? 'සිංග්ලිශ් සිංහල කළේ මම'..ඔබ නොදත් තරුණයා මෙන්න..(PHOTOS)

Sri Lanka
By Aruna Sep 04, 2022 02:56 AM GMT
Report

2011 වනවිට ඩිජිටල් අවකාශයේ සිංහල භාෂාවට ඉඩක් තිබුණේ නෑ “හෙළකුරු” ඔහුගේය.

කලක් තිස්සේ ගත් වෙහෙසකර වෑයමක ප්‍රතිඵලයක් ලෙස හෙළකුරු නිර්මාණය කළ මෙම දිරිය තරුණයා ඉන් අනතුරුව තමන් විසින් සොයාගත් අනගි නිමැවුම අපේ දෙයක් බවට පත් කරන්නේය.

මෙරට ඩිජිටල් අවකාශයේ එතෙක් මෙතෙක් පැවැති හිස්තැනක් සම්පූර්ණ කරමින් සිංහල යතුරු පුවරුවක් ලෙස හෙළකුරු කරළියට පැමිණෙන අතර එය අපේ දෙයක් බවට පත්වන්නේ එතැන් සිටය.

මෙරට ජනගහනෙයන් මිලියන 11ක් පමණ මේ වනවිට හෙළකුරු බාගත කරගෙන තිබීම ද විශේෂත්වයක්ය.

එම පිරිස අතරින් මිලියන 05ක පමණ පිරිසක් මේ වනවිට තම එදිනෙදා සන්නිවේදන කටයුතු පිණිස හෙළකුරු භාවිත කරන අතර එය විශිෂ්ටත්වයට පත් වන්නේ මෙරට ඩිජිටල් අවකාශයේ ජාතික සන්නාමය ලෙසය.

හෙළකුරු යනු මැජික් කරුවකුගේ යෂ්ටිය බදු සියල්ලම කළ හැකි දෙයක් නොවුවත් හෙළකුරට බොහෝ දේ කළ හැකි බව හැඟී යන්නේ ඒ වටා එක්රැස් වී සිටින පාරිභෝගික ප්‍රජාව කොපමණ ද යන්න සංඛ්‍යාත්මක ගත්කලය.

එය තවත් උත්කර්ෂයට පත් වන්නේ හෙළකුරු හා බැඳුන තවත් සේවාවන් හා පහසුකම් රැසක් මේ වනවිට මෙරට ජන ජීවිතය හා සමීපව පැවතීම හේතුවෙන්ය.

අපගේ ගමනෙහි අරමුණ බවට පත්වූවේ හෙළකුරු රටට හඳුන්වාදුන් නිමැවුම්කරු මුණගැසීමය.

ඒ සඳහා කොළඹින් බැහැර කළුතරට ළඟා විය යුතුය. කළුතර නගරය පසුකොට ගාලු පාර ඔස්සේ තවත් මද දුරක් ගමන් කළ පසු “හෙළකුරු” යනුවෙන් සඳහන් නාම පුවරුව දැකගත හැක.

මෙරට ජනතාව හොඳින් හඳුනන “හෙළකුරු” අපට ද නුහුරක් ගෙන නොදෙන්නක් බැවින් අප රැගත් රථයේ ගමනාන්තය එතෙකින් නිමා විය.

“එන්න ඇතුළට…. මම ධනික….” හේ සුහදශීලී සිනහවකින් යුත් තරුණයකු විය. ඔහුගේ ඇරයුමට අනුව අප එම කාර්යාලයීය පරිශ්‍රයට ගොඩවූහ.

නවීන පන්නයේ තාක්ෂණික ආම්පන්න ඉදිරියේ කඩිසරව වැඩෙහි යෙදෙන තරුණ තරුණියන් පිරිසක් මැදින් සිය කාර්යාල කාමරය වෙත ගමන් කිරීම පිණිස පෙර ගමන් සැපයු දනික තම සුවපහසු පුටුව මත අසුන් ගත් පසු ඔහු කවුද?

යන්න පිළිබඳ මා තුළ වූ කුකුස පහව යන්නට විය. අප එහි පැමිණි කාරණය විස්තර කිරීමෙන් අනතුරුව හෙළකුරු සොඳුරු නිමැවුම්කරු ධනික පෙරේරා හෙළකුරු උපත එහි විකාශනය සහ මේ වනවිට සන්නිවේදන සේවා හා පහසුකම් සපයන ආයතනයක් ලෙස තමන් විසින් අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබඳව විස්තර පවසන්නට විය.

පැතුම් සහගත තරුණයකු ලෙස ඩිජිටල් අවකාශය තුළ තම අණසක පැතිර වූ දනික සිය කතාව පිණිස ආරම්භය ලබා ගත්තේ ඔහු කවුද යන්න තවදුරටත් අප තුළ යම් කුකුසක් වේ නම් එයට පැහැදිලි පිළිතුරක් ලබා දෙමින්ය.

“මේ කාර්යාලයීය කාමරය එහෙමත් නැත්නම් මගේ මේසය පුටුව මම පාවිච්චි කරන්නෙ පිටතින් පැමිණෙන අමුත්තන් සඳහා පමණයි.

නැත්නම් මමත් මේ ආයතනයේ සේවකයෙක් පමණය කියන මානසිකත්වයෙන් තමයි නිතරම වැඩ කටයුතු කරන්නෙ.

ආයතන ප්‍රධානියෙක් ලෙස කාර්යාල කාමරයක හිරවෙලා ඉන්න සංස්කෘතියෙන් ඉවත් වෙලා ටීම් එකක් විදිහට වැඩ කරද්දී ලොකු සැහැල්ලුවක් දැනෙනවා.

සරලව කියනවා නම් භාෂා ලංකා සමාගම නමින් නම් කරලා තිබෙන මගේ ආයතනයේ සේවය කරන මා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම එක පවුලක් කියලා සඳහන් කළොත් වඩාත් නිවැරදියි…”

හෙ ළ කු රු ඔහුගේය - භාෂා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධනික පෙරේරා ධනික පෙරේරා යනු තාක්ෂණයෙන් මෙන්ම සිතුවිලි ආදියෙන් පොහොසත් තරුණයකු බව වටහා ගැනීමට ඉහත සඳහන් ප්‍රකාශය වුව ද ප්‍රමාණවත්ය.

නවීනත්වයේ සෑම අංගයක්ම නියෝජනය කරන භාෂා ලංකා සමාගමේ හිමිකාරීත්වය දරන ඔහු එම හිමිකාරීත්වය ප්‍රදර්ශනය කිරීම පිණිස කිසිදු උත්සාහයක් දරන්නේ නැත.

සැහැල්ලු ටී ෂර්ටයකින් සැරසුන දනික යමක් පිළිබඳ විස්තර කර සිටින්නේ ද ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමක් සිදු කළහොත් පමණය.

ඔහු මෙතෙක් ආ ගමන් මග මුල, මැද නිවැරදිව ගළපා ගත යුතු බැවින් ඒ සඳහා ප්‍රවේශයක් පිණිස ඔහු මේ වනවිට නිරත සන්නිවේදන තාක්ෂණය පිණිස අත්පොත් තැබුවේ කෙසේද යන්න පිළිබඳ විමසීමක් කරන ලදී. “පාසල් කාලයේ ඉඳලම තාක්ෂණය පිළිබඳව කැමැත්තක් මා තුළ පැවතුණා.

එතැනදී මෘදුකාංග තාක්ෂණය පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති වුණා. ඔහොම ඉන්න අතරෙ උසස් පෙළ ශිෂ්‍යයන් ලෙස අපට විශේෂ ව්‍යාපෘතියක් කරන්න සිද්ධ වුණා.

එතැනදී මම සිංහල අකුරු ලියන්න පුළුවන් මෘදුකාංගයක් හදනවා.

මොකද ඒ වෙද්දී අපේ රටේ ඩිජිටල් මාධ්‍ය තිබුණට ඒකත් එක්ක කරන හැම කටයුත්තක්ම කරන්න ඉංග්‍රීසි මාධ්‍ය පමණයි තිබුණේ.

ඒක ලොකු අඩුවක් විදිහට තමයි මම දැක්කෙ. උසස් පෙළ අධ්‍යාපනය ලබන අවදියේ ඉඳලම ඩිජිටල් තාක්ෂණය ඇතුළෙ මට මොනවද කරන්න පුළුවන් කියන දෙය ගැන සිතන්න ගත්ත…” කළුතර සිරිකුරුස විදුහලෙන් අධ්‍යාපන ලබන ධනික ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නේ 2006 වර්ෂයේදීය.

එහිදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් සිසුවෙක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු එහිදී පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයෙන් උපාධිය සමත් වන්නේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතර ද කේවල ව්‍යාපෘතියක් ලෙස සිංහල අකුරු කියවීමට හැකි මෘදුකාංගයක් නිර්මාණය කරන දනිකට ඒ සඳහා දකුණු ආසියාවේ රටවල් 08 ක් නියෝජනය කරමින් පැවැත්වූ නව නිපැයුම් සම්මාන උළෙලේදී ප්‍රථම ස්ථානය හිමිව ඇත.

ධනිකගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. “විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර තෙවනවසරේ ශිෂ්‍යයෙක් ලෙස සිංහල අකුරු කියවන්න පුළුවන් මෘදුකාංගය නිර්මාණය කළාට පස්සෙ අපේ රටේ ප්‍රධානම දුරකථන පහසුකම් හා සේවා සපයන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙක් මාව මුණගැසෙන්න ආවා.

ඒ ඇවිත් ඔහු මට කිව්ව ඒ ව්‍යාපෘතිය විශ්වවිද්‍යාලයට පමණක් සීමා නොකොට මුළු රටට ම වැඩක් කරන්න පුළුවන් දෙයක් බවට පත් කරමු කියලා.

ඒ උත්ප්‍රේරණයක් එක්ක තමයි මේ ගමන මෙතෙක් දුරක් ආවෙ…” ධනික හා අප එකිනෙකා මුණගැසුණ කළුතර කටුකුරුන්ද පිහිටි භාෂා ලංකා සමාගම බිහිවන්නේ ඉන් අනතුරුවය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථකව නිමා කරන දනික ඉන් අනතුරුව ඩිජිටල් මාධ්‍ය තුළ සිංහල භාෂාවට ඉහළ වටිනාකමක් හිමිකර දීමට සමත් අනගි නිමැවුම් රැසක් හඳුන්වා දීමට සමත් වන්නේය.

හෙ ළ කු රු ඔහුගේය - භාෂා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධනික පෙරේරා “2011 වසරේ දෙසැම්බර් මාසයේ තමයි සිංහල යතුරු පුවරුවක් ලෙස “හෙළකුරු” එළිදක්වන්නෙ.

සමාජයෙන් ආව ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් විදිහටත් එය අර්ථ ගන්වන්න පුළුවන්.

මොකද ඒ වන තෙක්ම ඩිජිටල් තාක්ෂණය තුළ සිංහල භාෂාවට ඉඩක් ලැබුණේ නෑ. සිංග්ලිස් වලින් තමයි කෙටි පණිවිඩයක් පවා යවන්න පුළුවන්කම තිබුණේ.

ඒ රික්තය පුරවන්න හෙළකුරු පැමිණීමත් එක්ක විශාල වශයෙන් හෙළකුරු භාවිත කරන පිරිස වැඩි වෙන්න ගත්තා.

වසරක් දෙකක් ගතවීමත් එක්ක මිලියන දෙකක පමණ පිරිසක් හෙළකුරු භාවිත කරන්න ගැනීමත් එක්ක හෙළකුරු සන්නාමය ඔස්සේ තවත් සේවාවන් කීපයක් ජනතාවට සමීප කරවන්න අපි විසින් තීරණයක් ගත්තා….” භාෂා ලංකා සමාගම යටතේ මෙරට ජනතාවට පළමුව සමීප කළ සේවාව බවට පත් වන්නේ හෙළකුරුය.

ඉන් අනතුරුව එසැණ, හෙළ Pay, සිතළු ඇතුළු තවත් සේවාවන් කීපයක් ඇතුළත් සමාජ ජාලමය සේවාවන් රැසක් හඳුන්වා දෙන භාෂා ලංකා සමාගම එම සේවාවන් හා පහසුකම් කාණ්ඩ 3 ක් යටතේ වෙන්කොට පාරිභෝගික ප්‍රජාව වෙත සමීප කරන අතර හෙළ Pay සන්නාමය යටතේ රීලොඩ්, ඊ චැනලින්, බිල්පත් ගෙවීම් ආදී සේවාවන් පවත්වාගෙන යමින් ඇත.

ඊට අමතරව ඩිජිටල් සන්නිවේදන තාක්ෂණය තුළ පැවැති බරපතළ හිඩැසක් පුරවමින් නිර්මාණාත්මක රචනය පිණිස ද අවකාශය සකසන භාෂා ලංකා සමාගම ඒ සඳහා සිතළු නමින් ඉඩකඩක් සකසන අතර මේ වනවිට සිතළු තුළ තම සිතුවිලි සටහන් කරන පිණිස ලක්ෂ දෙක ඉක්මවා ඇත.

භාෂාමය අවශ්‍යතාවයක් සම්පූර්ණ කරමින් ඩිජිටල් අවකාශය ජය ගන්නා භාෂා ලංකා සමාගම 2016 වසරේදී Super App සංකල්පය අනුව යමින් තව තවත් සේවාවන් හා පහසුකම් රැසක් රට හමුවේ හඳුන්වා දෙන්නේය.

හෙළ Pay නමින් අපේම ගෙවීම් සේවාවක් මෙරට ජනතාවට සමීප වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

Online ගනුදෙනු සිදු කිරීමේදී මෙරට මුදල් පිටරටට ඇදී නොයන ලෙස සකස් කොට ඇති හෙළ Pay හරහා මේ වනවිටත් මිලියන 200ට වඩා වැඩි මුදලක් සංසරණය වී තිබෙන අතර ඒ හේතුවෙන් ජාතික ගෙවීම් ජාලයේ සන්නාමය බවට හෙළ Pay පත්ව ඇත.

ඒ අනුව ගත් කළ නව මාධ්‍ය හෙවත් ඩිජිටල් අවකාශය තුළ තොරතුරු සන්නිවේදනය ඇතුළු අනිකුත් සේවාවන් ගත් කළ එහි ප්‍රමුඛයා බවට පත් වන්නේ ධනික පෙරේරා ඇතුළු නිර්මාණශීලී තරුණ ප්‍රජාවගෙන් සමන්විත භාෂා ලංකා සමාගමය.

එම ආයතනයේ ව්‍යුහය සහ ක්‍රියාපටිපාටිය ද සම්ප්‍රදායෙන් බැහැරය. ඒ පිළිබඳව විමසීමේදී එහි නිර්මාතෘ ධනික පෙරේරා සඳහන් කර සිටියේ මෙවැන්නක්ය.

මේ ආයතන ආරම්භ කරද්දී මෙහි හිමිකරු සහ එකම සේවකයා වුණේ මා පමණයි. ඒ වෙද්දී ව්‍යාපාරයක් ලෙස මේක ඉදිරියට කරගෙන යන්නෙ කොහොමද කියන ව්‍යාපාරික දැනුම මා ළඟ තිබුණෙ නෑ.

නමුත් නායකත්වය කියන්නේ මොකක්ද නායකයකුගේ දැක්ම විය යුත්තේ මොකක්ද කියන අවබෝධය මා තුළ පැවතුණා.

විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස වසර කීපයක අත්දැකීම් මා සතු හින්ද ඒ අවබෝධය මට එන්න ඇති.

ඒ හින්ද කණ්ඩායමක් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියන දැනීම මට තිබුණා.

දැනට මේ ආයතන තුළ 35ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. ඒ අයගේ වැඩ පහසුව පිණිස කොටස් 03ක් යටතේ ඔවුන් සේවය කරනවා.

මිසක් නිලතලවල උස් පහත් බවක් මේ ආයතනය තුළ නෑ. වෙනම උප සංස්කෘතියක් ඇතුළෙ තමයි හැමදේම සිද්ධ වෙන්නෙ.

තරුණ ව්‍යවසායකයෙක් ලෙස මම විශ්වාස කරනවා ආයතනයක ප්‍රගතිය කියන්නෙ සේවක තෘප්තිය කියලා.

ඒ වගේම ඇතැම් අය මගෙන් විමසනවා ප්‍රධාන කාර්යාලය කොළඹ පවත්වාගෙන යන්නෙ නැතුව ඇයි මෙතැන තියන් ඉන්නෙ කියලා.

ඩිජිටල් සේවාවන් පවත්වාගෙන යන්න කොළඹ කේන්ද්‍ර වූ කාර්යාල අවශ්‍ය නැහැ වගේම විශාල සේවක පිරිසක් අවශ්‍ය නැහැ කියන තැන තමයි මම ඉන්නෙ.

මගේ ආයතනය ගත්තොත් මේ වනවිට ඩිජිටල් සන්නිවේදනය තුළ හා අනිකුත් සේවාවන් තුළ ඉහළම ස්ථානයක ඉන්නවා.

නිර්මාණශිලීත්වය තමන් තුළ පවතිනවා නම් ආයතනය කොතැනද තිබෙන්නෙ කියන දෙය වැදගත් වෙන්නෙ නෑ.

ඒ බව අපි විසින් දැනටමත් ඔප්පු කරලා ඉවරයි…” ධනික පෙරේරා විසින් පවසන දෙය සැබෑවක් බව ඔප්පු වන්නේ ආයතනයක් ලෙස ඔවුන්ට ඉහළ ඇගයීමක් ලැබී ඇති ආකාරය සියැසින් දකින විටය.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් සම්මාන රැසක් ඔහුගේ කාර්යාලයීය කාමරය තුළ දැක ගත හැක.

දනික පවසන දෙය සැබෑවක් බව සඳහන් කරන නිහඬ සාක්ෂිකරුවන් පිරිසක් බදු එම සම්මාන සියල්ලකම සඳහන්ව ඇත්තේ ඩිජිටල් තාක්ෂණය තුළ භාෂා ලංකා සමාගම විසින් කරන ද හපන්කම්ය.

භාෂා ලංකා සමාගම වෙත ගිය අප සියල්ල හොඳින් දැක බලා අසා දැනගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ඒමට පෙර දනිකගෙන් විමසා සිටියේ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය කළමනාකරණය කර ගනිමින් ආයතනයක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳවය.

එයට ද ඔහු තුළ වෙනස්ම ආකාරයේ පිළිතුරක් විය. “සෑම කෙනෙකුගේම ජීවිතයේ ෆැෂන් එකක් කියල දෙයක් තිබෙනවා.

මුලින්ම කරන්න ඕන ඒක හඳුන ගන්න එක. ඒ හඳුනාගැනීමත් එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නෙ.

ජීවිතයේ පෞද්ගලික පැත්ත ඒ ආකාරයට ඉදිරියට අරන් යද්දී ව්‍යවසායකයෙක් ලෙස මම සමාජ ප්‍රශ්නයක් පැන නඟින සෑම අවස්ථාවකදීම ඒ ඔස්සේ අලුත් විසඳුම් සොයා ගනිමින් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගන්නවා.

ඒකට නිර්මාණශීලී මනසක් අවශ්‍ය වෙනවා. නමුත් අපේ රටේ බහුතරයක් දෙනා තුළ තවමත් පවතින්නෙ ඍනාත්මක අදහස්. ඒවා එක්ක සාර්ථකත්වය කරා යන්න බැහැ.

මම මේ ගමන එද්දී අභියෝග ආවා. වරක් බරපතළ සයිබර් ප්‍රහාරයක් පවා ආවා. නමුත් නැවත නැවතත් නැඟිටිමින් මම මගේ ගමන ආවා.

ඒ නිසා මම මේ රටේ තරුණ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මොන තරම් අසීරු තත්ත්වයක වුවත් තමන් නිරත කටයුත්තෙන් ඉවත් වෙන්න එපා.

රටේ යම් අර්බුදයක් පවතිනවා නම් ඒ සඳහා අලුත් අදහස් හා විසඳුම් ගේන්න උත්සාහ ගන්න.

ඒ උත්සාහය ජය ගන්න පුළුවන්….” ධනික පෙරේරා ඩිජිටල් අවකාශය ජය ගන්නේ එවැනි ධනාත්මක සිතුවිලි පරම්පරාවක් සහිත තරුණයකු වීම හේතුවෙන්ය.

රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ද අලුත් සිතුවිලි සහිතව තම තමන්ගේ හදවත් පණ ගන්වන ලෙසය.

ධනික වැනි තවත් තරුණයන් නිර්මාණය වන්නේ එවිටය.

මවුබිම මේ මොහොතේ ඉල්ලා සිටින්නේ එවැනි මිනිසුන්වය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery