ඔබේ ගෙදර පුංචි ඉඩක කැරට් හදමු
දැන් ඉතින් ගෙදර දොරේ පුංචි ඉඩකඩක් හෝ හොයාගෙන එළවලු, පළතුරු ටිකක් හදාගන්න කාලේ හරි නේද? ඔන්න ඉතින් මං අද කියන්න යන්නේ නුවරඑළියේ හැදෙන කැරට් ඔබේ ගෙදර හදාගන්නේ කොහොමද කියලා. වස විස නැති එළවලු ටිකක් ගෙදරම වවා ගන්න එක කොච්චර නම් ලොකු දෙයක්ද.
මුලින්ම මේ විදිහට පස සහ බඳුන් සකස් කරගන්න.
- ඉවතලන පරන බදුන්, හාල් මලු, ප්ලාස්ටික් බෝතල්, මල් පෝච්චි මේ සඳහා භාවිතා කරන්න පුළුවන්.
- මේවා බීජ මගින් වගා කළ යුතු බෝගයන්. (බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවිසැල් වලින් හෝ පෞද්ගලික බීජ වෙලදසැල්වලින් මිලදී ගැනීමට හැකියි.)
- බදුන් මාධ්‍ය ලෙස මතුපිටපස් , කොම්පෝස්ට් , සියුම් වැලි ,ගොමපොහොර භාවිතා කළ හැකියි.(ප්‍රමාණයන් සම සමව ගන්න) හැබැයි බොරලු ,කුඩා ගල් කැට නොතිබිය යුතුයි.
කැරට්🥕🥕🥕
- කැරට් වගාව සඳහා කාබනික ද්‍රව්‍ය බහුලව අඩංගු වැලි ලෝම පසක් වඩාත් යෝග්‍යයයි. ( රතු කහ පොඩ්සොලික් පස්වල කැරට් හොඳින් වගා කළ හැකියි)
- කැරට් බීජ කුඩා බැවින් බිජ, බදුන් වල හෝ බිම සකස් කර වගා කරන්න පුළුවන්. බඳුනක් හෝ බෑගයක වගා කරනවා නම් එය ටිකක් ගැඹුරු විය යුතුයි. (මේ නිසා කැරට් බිම සිටුවනවානම් කැරට් වගාව සඳහා හොඳින් බිම් සකසා ගත යුතුය. සෙන්ටිමීටර් 20 - 30 ගැඹුරට සී සෑමෙන් හෝ කෙටීමෙන් පසු සියුම්ව පස සකස් කර ගන්න. මීටර් 1 පමණ පළල පාත්ති සකසා ගන්න)
- බීජ පැළවී සති 3-4 කින් පැළ තුනී කිරීම අවශ්‍යවන අතර සති 8 දී නියමිත පරතරයට සිටින සේ පැළ තුනී කළ යුතුයි.
- කැරට් වගාවේ ජල අවශ්‍යතාවය භෝගයේ වර්ධනය අනුව වෙනස් වෙනවා. මුළු වගා කාලය පුරාම හොඳ ජල සැපයුමක් ලබා දීම අවශ්‍යයි. පස විටින්විට තෙත් වීමට හා තදින් වියළීමට භාජනය වීමෙන් කැරට් අල පැලී යා හැකි අතර අධික තෙතමනය නිසා අල කුණුවීම හැකියි.
- අතින් වල්නෙලීම මගින් වල් පැළ පාලනය කළ හැකිය. මතුපිට පොහොර යෙදීමට කලින් වල්නෙලීම කළ යුතුයි.
- වගාවට සති 3, 6,8, 9 දී කාබනික පොහොර යොදන්න.
- කැරට් වගාවට දින 85-100 පමණ වන විට අස්වනු නෙලාගත හැකියි. වැඩි කාලයක් වගාව පස තුළ තැබීම මඟින් අල පැලීම මෙන්ම කුඩා මුල් හට ගැනීමත් නිසා අස්වැන්නේ ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්.