මැතිවරණ දෙපාර්තමේන්තුව ගැන කෙටියෙන් යමක් ...

Election Commission of Sri Lanka Sri Lanka
By Subodha May 25, 2022 08:44 AM GMT
Subodha

Subodha

in රචනා
Report

රාජ්‍ය අංශය විසින් ඉටුකළ යුතු කාර්යයන් හා පොදු සේවා පවත්වාගෙන යාම පිණිස දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, අනෙකුත් රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන පිහිටුවීම නිදහසට පෙර සිට මෙන්ම නිදහසින් පසුව ද, සිදුවන සාමාන්‍ය ක්‍රියාදාමයකි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරම්භය ද, එහි එක් අවස්ථාවකි.

මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවීමේ මූලික අරමුණ වූයේ මැතිවරණ ක්‍රියාවලිය මෙහෙය වීම හා ඒ සඳහා වූ කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාමයි. එනම්, නිදහස් හා සාධාරණ අන්දමින් මැතිවරණ පැවැත්වීම හා ඊට අවශ්‍ය වන වාර්ෂික ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම ඇතුළු ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන කාර්යයන් පවත්වාගෙන යාම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය විය. මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුයේ 1955 ඔක්තෝබර් මස පළමු වන දිනය. එහෙත් එය එක්වරම සිදුවූවක් නොවේ. එතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබිණි. එහි ප්‍රධානියා මැතිවරණ කොමසාරිස්වරයා විය. 

වර්තමාන හැඳින්වීම අනුව පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු පිණිස නිදහස් හා සාධාරණ මැතිවරණ, ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීමත්, ඒ සඳහා අවශ්‍ය ඡන්දහිමි නාමලේඛනය සැකසීමත්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ දැක්ම හා වගකීම වේ. මෙම වගකීම ඉටුකිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට හා මැතිවරණ දෙපාර්තමේන්තුවට වෙනත් රජයේ ආයතනවලට නොමැති විශේෂ ස්වාධීනත්වයක් අතීතයේ පටන් හිමිවී තිබිණි.

මැතිවරණ දෙපාර්තමේන්තුව කිසිඳු අමාත්‍යාංශයක් යටතට පත් නොකිරීම, මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව නිලධාරීන් දෙපාර්තමේන්තුවට ගැනීම හෝ ඉන් බැහැරට යැවීම සිදුකළ නොහැකි වීම, ස්වාධීනව ක්‍රියාකිරීමට අවස්ථාව ලබාදීම හා දෙපාර්තමේන්තුවට බලපෑම් සිදු නොකිරීම නිසා එහි ස්වාධීනත්වය ආරක්ෂා වී තිබිණි.තවද මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණයට පමණක් වගකීමට බැඳී සිටීම යනාදී කරුණු මැතිවරණ දෙපාර්තමේන්තුව, වෙනත් රජයේ දෙපාර්තමේන්තුවලට වඩා ස්වාධීනත්වයක් භුක්ති විඳීම පිළිබඳ උදාහරණ වේ.

ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීම හා සුදුසුකම්ලත් සියලුම පුරවැසියන් ඡන්දහිමියන් වශයෙන් වාර්ෂික ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි කිරීම හා සුදුසුකම් නොලබන පුරවැසියන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම හරහා පුරවැසියන්ගේ ඡන්ද බලය සුරක්ෂිත කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය විය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කරනු ලබන ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමත්, ඍජුවම ජනතාවගේ කැමැත්ත විමසිය යුතු අවස්ථාවලදී ජනමත විචාරණ පැවැත්වීමත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් ද විශ්වාසනීයත්වයෙන් යුතුව ද, පැවැත්වීම දෙපාර්තමේන්තුව සතු තවත් ප්‍රධාන වගකීමයි. 

මේ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව සතු කාර්යභාරය පහත සඳහන් අයුරින් සාරාංශ කොට දැක්විය හැක.

(අ) වාර්ෂික ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම හා සහතික කිරීම.

(ආ) ජාතික මට්ටමෙන්

1. ජනාධිපතිවරණය 

2. පාර්ලිමේන්තු මහ මැතිවරණය

3. ජනමත විචාරණය පැවැත්වීම

(ඇ) පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින්

1. පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම

2. මහ නගර සභා, නගර 

මෙම සියලුම ඡන්ද විමසීම් හා මැතිවරණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති විධිවිධානවලට අමතරව එක් එක් මැතිවරණය හෝ ඡන්ද විමසීම සඳහා විශේෂ පනත් මගින් නීතීමය ප්‍රතිපාදන සලසා ඇත. ඒවා පහත සඳහන් වේ.

  • 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත
  • 1981 අංක 07 දරන ජනමත විචාරණ පනත
  • 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත
  • 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත
  • 1980 ප්‍රාදේශීය සභා පනත
  • 1988 අංක 02 දරන පළාත් පාලන ඡන්ද විමසීම් පනත
  • 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත  

ඉහත ඡන්ද විමසීම් පනත්වලට අමතරව 1980 අංක 35 දරන සංවර්ධන සභා පනතට අනුව 1981.03.25 දිනැති අංක 133/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පිහිටුවන ලද සංවර්ධන සභා 24 සඳහා එම ගැසට් නිවේදනය අනුව සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම 1981.06.04 වන දින පැවැත්විය. මේ එක් එක් පනත මගින් අදාළ ඡන්ද විමසීමට හෝ මැතිවරණයට අදාළව මැතිවරණ ක්‍රියාවලිය සඳහා නීතිමය බලය ලබා දී ඇත. ඒ යටතේ නාම යෝජනා භාර ගැනීම, මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීම, මැතිවරණ වැරදි හා නීති විරෝධී ක්‍රියා පාලනය කිරීම ඇතුළු සියලු පරිපාලනය හා කළමනාකරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමය පරිදි සිදුකරනු ලැබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුව 1955 වර්ෂයේ ස්ථාපිත කරන ලද අවස්ථාවේ පැවැති නීතිමය ප්‍රතිපාදන, පැවැත්විය යුතු මැතිවරණ හා ඡන්ද විමසීම් හා එම ඡන්ද විමසීම් පැවැත්වීමේ දී අනුගමනය කරන ක්‍රමවේද හා පරිපාලන ක්‍රියාවලිය විටින් විට වෙනස් වී ඇත. ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කොමසාරිස්වරුන්ගේ ධූර කාලයත් සමග එම වෙනස්වීම් සඳහන් කිරීම සුදුසු වේ. මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන අවස්ථාව වන විට මැතිවරණ කොමසාරිස්වරු හය දෙනෙකු (06) සේවයේ නියුතුව සිට ඇත.