පොලිසිය විසින් සැකකරුවන්ට පහර දී ලබා ගන්නා පාපොච්චාරණ නීතිය හමුවේ වලංගුද?
ශ්‍රී ලංකාව තුළ පවතින නීති පද්ධතීන් ගැන අවබෝධයක් නොමැතිකම නිසාම සාමාන්‍ය ජනතාවට ගොඩක් වෙලාවට වෙන්නේ අසාධාරණකම්. ඒ නිසාම තමයි අපි නිරන්තරයෙන් ලංකවේ පවතින ඇතැම් නීතිමය පසුබිම් ගැන ඔබව දැනුවත් කරන්නේ. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ විදිහට නීති පොතේ ලියැවුණු තවත් නීතිමය ක්‍රියාවලියක් ගැනයි. ඒ , සැකකරුවන්ට පහර දී පොලීසිය ලබා ගන්නා පාපොච්චාරණ නීතිය ඉදිරියේ වලංගුද? නැද්ද යන්නයි.
ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන සම්බන්ධ පුවත් වාර්තකරණයේදී සැකකරුවන් වරද පිළිබඳව පාපොච්චාරණය කළ බව සඳහන් කරමින් වගකිවයුතු පොලිස් නිලධාරින් ප්‍රකාශ කරන අවස්ථා නිතරම වගේ අහන්න දකින්න ලැබෙනවා.
නමුත් නඩු විභාගයකදී මෙවැනි පාපොච්චාරණ යොදාගත හැකිද?
⚖️ ගොඩක් වෙලාවට පොලිසිය විසින් මෙවැනි පාපොච්චාරණ ලබාගන්නේ සැකකරුවන්ව කෲර අමානුෂික වධහිංසනවලට ලක් කරලා.
⚖️ කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි පුද්ගලයෙකු වධහිංසනවලට හෝ කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකර කටඋත්තර ලබාගත යුතු බවයි.
⚖️ ඕනෑම වරදකට අත් අඩංගුවට ගන්නා සැකකරුවකට මෙම ව්‍යවස්ථාවේ රැකවරණය හිමි වෙනවා.
⚖️ පොලිස් නිලධාරියෙකුට කිසිදු තත්වයක් යටතේ මෙම අයිතිය උල්ලංඝනය කිරීමේ හැකියාවක් නැහැ. කිසියම් අවස්ථාවක එය උල්ලංඝනය කළහොත් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට වන්දි ලබා ගැනීමේ අයිතිය ඕනෑම පුද්ගලයෙකු සතුයි.
⚖️ ඒ අනුව යම් වරදක් අනාවරණය කරගැනීම සඳහා කරනු ලබන විමර්ශනයක දී සැකකරු සත්‍ය නොපැවසීම හෝ අපරාධයේ තොරතුරු වසන් කිරීම මත පහර දීමට පොලිස් නිලධාරියෙකුට වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ .
පාපොච්චාරණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා
01.අධිකරණයට කරනු ලබන පාපොච්චාරණ (Judicial Confessions)
02.අධිකරණයයෙන් පිටත කරනු ලබන පාපොච්චාරණ (Extra- judicial Confessions)
අධිකරණයට කරනු ලබන පාපොච්චාරණ යනු
👩⚖ සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේදී කරනු ලබන වරද පිලිගන්නා ස්වභාවයේ ප්‍රකාශයි. එනම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ සැකකරුවකුට මහේස්ත්‍රත්වරයාට ප්‍රකාශයක් ලබාදීමේ හැකියාව තියෙනවා.එම ප්‍රකාශය රහස් ප්‍රකාශයක්.
👩⚖ එවැනි රහස් ප්‍රකාශයක් ලබා දීමේදී මහේස්ත්‍රාත්වරයා සැකකරු මෙවැනි ප්‍රකාශයක් ලබා දෙන්නේ පොලිස් නිලධාරින්ගේ හෝ යම් පුද්ගලයෙකුගේ තර්ජනයක් ,බලපෑමක් හෝ පොරොන්දුවක් මතද යන්න විමසා එසේ නොවන්නේ නම් පමණක් ප්‍රකාශය සටහන් කළ යුතුයි.එමෙන්ම එම ප්‍රකාශය සැකකරුට එරෙහි නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදා ගත හැකි බව සැකකරුට තේරුම් කර දිය යුතුයි.
👩⚖ සැකකරුට එවැනි තර්ජනයක් ,බලපෑමක් හෝ පොරොන්දුවක් නැති බව පෙනී යන්නේ නම් නැවතත් මෙවැනි ප්‍රකාශයක් කරනවාද නැද්ද යන්න සිතා බලා පැමිණීමට ප්‍රමාණවත් කාලයක් (Time of Reflection ) ලබා දිය යුතුයි. එම වේලාව කොපමණ විය යුතුද යන්න ඒ ඒ නඩුවේ අවස්තානුගත කරුණු මත තීරණය වෙනවා.අදාල වේලාවට පසුව සැකකරු ප්‍රකාශයක් කිරීමට කැමති බව කියා සිටියහොත් එය සටහන් කර ගැනීමට මහේස්ත්‍රත්වරයාට බලය ඇත.
අධිකරණයෙන් පිටත කරනු ලබන පාපොච්චාරණ ලෙස හඳුන්වන්නේ
👩⚖ සැකකරුවකු පොලිස් නිලධාරියෙකුට,කැලෑ නිලධාරියෙකුට හෝ සුරාබදු නිලධාරියෙකුට කරනු ලබන වරද පිලිගන්නා ස්වභාවයේ ප්‍රකාශයි.
👩⚖ මෙවැනි ප්‍රකාශ නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදා ගැනීම සාක්ෂි ආඥා පනතේ 25 වගන්තිය මගින් තහනම් කර තිබෙනවා.
👩⚖ පොලිස් ස්ථානයකදී සැකකරුවකට පහර දී වරද පිළිගන්නා ආකාරයේ කට උත්තරයක් ලබා ගත්ත ද එම කට උත්තරය නඩු විභාගයක දී කිසි ලෙසකින් යොදා ගැනීමට හැකියාවක් නැහැ.
👩⚖ යම් ලෙසකින් එවැනි සාක්ෂියක් නඩු විභාගයකදී නඩු ගොනුවට ඇතුලත් වීමක් සිදු වන අවස්ථාවක එය වලක්වා ගැනීම විත්තියේ නීතීඥවරයාගේ වගකීමක් පමණක් නොව රජයේ නීතීඥවරවරයාගේ හා විනිසුරුවරයාගේද යුතුකම බව රියදුරු ගුනේ එරෙහිව ජනරජය (2009 (2) SLR 383) නඩුවේදී අභියාචනාධිකරණය තීරණය කර ඇත.
👩⚖ නමුත් පාපොච්චාරණමය ස්වභාවයේ ප්‍රකාශයක් තුළින් යම් අපරාධයක් කිරීමට භාවිතා කරන ලද ආයුධයක් ගැන හෝ එවැනි යම් දෙයක් ගැන කරන ලද ප්‍රකාශයකින් යම් දෙයක් සොයාගත් විටක එම සොයාගත් දෙය සම්බන්ධව සාක්ෂි මෙහෙයවීමට අධිකරණයට බලය හිමියි.
👩⚖ ඉහත දැක්වූ රීතියට ව්‍යතිරේඛී අවස්ථාවක් ලංකා නීතිය තුළ දක්නට ලැබෙනවා.1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 16 වගන්තිය යටතේ සැකකරුවකු සහකාර පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහළ නිලධාරියෙකුට කරනු ලබන පාපොච්චාරණමය ස්වභාවයේ ප්‍රකාශයක් සාක්ෂියක් ලෙස යොදා ගැනීමට හැකියාව ඇත.
👩⚖ නඩු විභාගයේදී ඉහත සදහන් කල පාපොච්චාරණය ලකුණු කිරීමට පැමිණිල්ල උත්සාහ කරන අවස්තාවේදී විත්තියට ඒ සම්බන්ධව විරුද්ධ විය හැකයි.
👩⚖ එලෙස විරුද්ධ වුවහොත් පාපොච්චාරණයේ ස්වේච්ඡානුභාවය සම්බන්ධව අතුරු පරීක්ෂණයක් (Voir-Dire Inquiry ) පැවැත්වීම කළ යුතුය.
👩⚖ මෙම පරීක්ෂණයේදී සැකකරු පාපොච්චාරණය ලබ දුන්නේ තර්ජනයක් ,බලපෑමක් හෝ පොරොන්දුවක් මත නොවන බවත් එය ස්වෙච්ඡාවෙන් කළ බවත් පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතුයි. විත්තියට මෙහිදී ඇත්තේ ඉතා සැහැල්ලු ඔප්පු කිරීමේ භාරයකි.(එනම්,මෙම පාපොච්චාරණය ලබා ගත්තේ යම් තර්ජනයක් ,බලපෑමක් හෝ පොරොන්දුවක් මත බව පෙනෙන්නට තිබෙනවා නම් (Seems to be/Appears to be) ඔප්පු කලහොත් ප්‍රමාණවත් බව 2002.10.16 වන දින තීරණය කරන ලද නාගමනී තිවේන්ද්‍රන් එරෙහිව නීතිපති (SC Appeal 65/2000) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට ඇත.එනයින්ම පාපොච්චාරණ සාක්ෂියක් ලෙස යොදා ගැනීම ප්‍රතිකේෂ්ප වෙයි.)
👩⚖ මෙම පාපොච්චාරණ ද්විත්වයම සලකා බැලීමේදී අධිකරණය ඉතා පරිස්සම් සහ විමසිලිමත් විය යුතුයි. මොකද කිසිම කෙනෙකු තමා වරදකට හසු වන ආකාරයේ ප්‍රකාශයක් නීතිය බලගන්වන ආයතනයකට තම කැමැත්තෙන් ලබා දේ යැයි සිතීම අසීරු නිසාත් බහුතරයක් පාපොච්චාරණ සැකකරුවන් කෘර හා අමානුෂික වධහිංසනවලට පමුණුවා ලබා ගැනීමත් නිසායි.
- නීතීඥ සාරංග වාදසිංහ -
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |