ලොව සීතලම ගම්මානයේ ඔබ හිතන තරම් මිහිරි නැති ජිවිතවල අමිහිරි කතාව..
ලංකාවෙ මෙතෙක් වාර්තා වුනු අඩුම උෂ්ණත්වය ලෙස සටහන් වුනේ සෙල්සියස් අංශක 4.6ක්. එය සටහන් වුනේ 2019 වසරේ නුවරඑළිය නගරයෙන්. හැබැයි ඔබ කවදා හෝ අසා තිබෙනවද ලොව අඩුම උෂ්ණත්වයක් තිබෙන ගම්මානයේ ජන ජීවිතය කොහොමද ගත වෙන්නෙ කියල. එය ඉතාමත් කටුක වගෙම ඉතා අමිහිරි අත්දැකීමක්.
ලෝකයේ සීතලම ගම උතුරු සයිබීරියාවේ එනම් රුසියාවට අයත් වෙන ඉතාමත් දුෂ්කර ගමක් කියලයි වාර්තා වෙන්නේ. මේ ගම නමින් "ඔයිමයාකොන්" ය . කඳු වළල්ලකින් වට වුණු නිම්නයක පිහිටලා තිබීම හේතුවෙන් තද සුළගෙන් ආරක්ෂා වෙන බවත් සඳහන් වෙනවා. ගමේ නමේ අර්ථය වන්නේ ‘නොමිදෙන ජලය’ යන්නයි. ඒ වගේම මෙම ගම ලොව උෂ්ණත්වය අඩුම ස්ථිර මනුෂ්‍ය වාසයක් තිබෙන ස්ථානයද වනවා. මුහුදු මට්ටමේ සිට අඩි 2460ක් උසින් පිහිටා ඇති මේ කුඩා ගම්මානයේ ජනගහනය අද වෙද්දි සිටින්නෙ 500කට අඩු සංඛ්‍යාවක්. 2010 පමණ වකවානුවේ මෙම ගම්මානයේ පුද්ගලයන් 900ක් පමණ ජීවත් වී තිබුණත් ක්‍රමයෙන් බොහෝ දෙනෙක් මේ ගම්මානය අතහැර යමින් සිටිනවා.
ඔයිමියාකොන් ශීතල වගෙම හරිම ලස්සන නගරයක්. කදුවලින් වටවුනු ගංගා වලට මායිම් වුනු මේ නගරයේ සැබෑ සුන්දරත්වය දකින්න පුලුවන් වෙන්නෙ ගිම්හාන ඍතුවට. දෙසැම්බර් මාසයේ දී පමණ ඔයිමයාකොන් ගම්මානයේ දිවා කාලය පැය 3කට පමණ සීමා වෙනවා. රාත්‍රී කාලය පැය 21ක් මෙම නගරයට තිබෙනවා. පැය 21ක් පුරාවට නගරය අදුරේ තමයි තියෙන්නෙ. නමුත් ජුනි මාසයක දී මෙම නගරයේ දහවල් කාලය පැය 21ක් විතර පවතිනවා. හරියටම කිව්වොත් පැය 21ක් විතර මෙම නගරයේ හිරු එලිය දකින්න ලැබෙනවා. මේ හේතුවෙන් ජුනි, ජුලි හා අගෝස්තු යන මාස වලදී 30c ටත් වඩා අගයකින් යුත් ඉහළ උෂ්ණත්වයන් වාර්තා වුණ අවස්ථාත් තිබුණ බව සදහන්. මීට අමතරව ඔක්තෝම්බර් මාසයේ අග ඉඳලම මාර්තු මාසය වන තෙක්ම මෙම ගම්මානයේ සෑම දවසකම පාහේ උෂ්ණත්වය 00c ට අඩුයි.
ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් ඔයිමියාකොන් නගරය ඇතුලු සාකා ජනපදයට ගිම්හානය උදා වනවා. මේ කාල වකවානුවේ ඔයිමියාකොන් නගරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 6.2ත් 22ත් අතර අගයක් ගන්නවා. මේ කාලයට මෙම නගරයේ ජනතාව විවිධ උත්සව හා හමුවීම් සංවිධානය කරන අතර ප්‍රීතියෙන් කාලය ගත කරන සමයක් ලෙසයි සැලකෙන්නේ. ඉතිං ඔබට වැටහෙනව ඇති මෙහි දේෂගුණයෙ තිබෙන ගුප්ත ස්වභාවය.
ඔයිමයාකොන් ගම්මානයේ ජීවන රටාව තරමක් වෙනස්. මෙහෙම කියන්න හේතුව වන්නේ අධික සීතල හේතුවෙන් මේ ගම්මානයේ ශාක වගා කිරීම ඇත්තටම අපහසුයි. මොකද මේ ප්‍රදේශයේ ගහක් කොළක් නොවැවෙන තරම්. මෙම නගරයේ ජනතාව බොහෝ විට ආහාරයට ගන්නේ මස් හෝ මාලු ආහාර. එයට හේතුව අධික සීතලකට ඔරොත්තු දීම සදහා ඔවුන්ගේ සම තුල හොද තෙල් තට්ටුවක් පවත්වා ගැනීමට අවශ්‍ය නිසා. ඔයිමියාකොන් ග්‍රාමයේ ජන ජීවිතය හරිම පුදුමාකාරයි. නිකමට හිතන්න එලියට වතුර විසිකරපු ගමන් ඒවා අයිස් බවට පත්වන පරිසරයක ඔබ ජීවත් වෙන එක කෙතරම් අමිහිරි අත්දැකීමක්ද කියල. පරිසරය තුල ආහාරයට ගත හැකි පැලෑටි හෝ බෝග වගා කිරීම කල නොහැක්කක් ලෙසයි වාර්තා වන්නේ. නගරයට ඇති සියලුම වාහන අධික ලෙස ශීතල පවතින විට පැය 24 පුරාම එංජිම ක්‍රියාත්මක කර පවතිනවා. මොකද එහෙම නොවුන හොත් වාහන වල එංජිම අධික ශීතල නිසා ක්‍රියා විරහිත වෙලා යන්න පුලුවන්. උණුසුම් කිරීමේ උදුන් දෙක තුනක් තිබෙනවා. නිවාස සදහා අවශ්‍ය විදුලිය එක් කුඩා බලාගාරයකින් සපයන අතර එය දර හා ගල් අගුරු ආදාරයෙනුයි ක්‍රියාත්මක වන්නේ.
ජනවාරි පෙබරවාරී මාස වල එලිමහනේ ගමන් කරන විට සියල්ල හොදින් ආවරණය කරගන්න මෙහි ජනතාව වගබලා ගන්නව. නැත්නම් ඔවුන්ගේ හිසකෙස් ඇහි බැම එහෙම අයිස් බවට පත්වෙලා තමයි නතර වෙන්නෙ. මෙම කාල වලදී ඔවුන් මග තොට ගමන් කරන්නෙ ඉතාමත අඩුවෙන්. එකිනෙකා අතර කතා කිරීම සිදුකරන්නෙත් ඉතාමත් අඩුවෙන්. මොකද ඔවුන්ගෙ කෙල අධික ශීතලට ගල් වෙලා, තොල් පුපුරල තුවාල වීමේ හැකියාවක් තිබෙන නිසා. මෙම නගරයේ පාසැලක් තිබෙනවා. නමුත් උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50 ඉක්මවා ගිය විට පාසැල වසා දැමීමට එහි බලධාරීන් කටයුතු කරනවා. ජීවන උපායන් එස මෙහි ජනතාව මාලු හා මස් වෙලදාම සිදු කරනවා. විශේෂයෙන් අශ්වයන්ගේ මස් ඔවුන් ආසන්න නගර වෙත යැවීමට කටයුතු කරනවා. ඔවුන්ගේ එදිනෙදා ආහාර අවශ්‍යතා සදහා ඔවුන් දඩයමේ යෑම සිදුකරනවා. පිනිමුවන් ගේ මස්, අශ්ව මස්, මාළු වගේම කිරි පානය ද පුරුද්දක් විදිහට සිදු කරනවා. වෛද්‍යවරුන්ගේ මතය වන්නේ මේ තරම් අධික සීතලකට ඔරොත්තු දෙන්න ඔයිමයාකොන් ගම්මානයේ වැසියන්ට හැකි වෙලා තියෙන්නේ මේ විදියට ගන්න ආහාර හින්ද කියලයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |