ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධ නීතිය ගැන ඔබ දැනුවත් ද?

Sri Lanka Police Law and Society Trust Sri Lanka
By Wayomi May 17, 2022 11:15 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

"ඇප දෙන්න වෙයි.. ඇප ගන්න වෙයි..කොහොමද ඇප දෙන්නේ.. ඇප ගන්න ලේසි වෙයිද... " මේ වචන ටික ඔබේ කනට හොඳට හුරු වචන ටිකක් නේද? මේ දවස්වල නම් ඇප දීලා ඉවරයකුත් නෑ. ඇත්තටම කොහොමද ඇප ගන්නේ? ඇප කියන්නේ වැරද්දකින් නිදහස් වීමක් ද? දන්නා නොදන්නා කාටත් මේලිපිය ගොඩක් වැදගත් වෙයි.

දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධ නීතිය මොන වගේද කියලා. මොකද ශ්‍රී ලංකාවේ ඇප නීතිය සම්බන්ධයෙන් හා අධිකරණයේ ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර තිබෙන දැනුවත් භාවය හරිම අඩුයි. ඒ, නිසාම ඇති කරගන්නා නීතිමය ප්‍රශ්නද වැඩියි.

ශ්‍රී ලංකාවේ ඇප නීතිය විවිධ ආකාරයෙන් අර්ථ දක්වනවා. යම් පුද්ගලයෙක් විසින් සැකකරුවෙකු නියමිත දිනයට අධිකරණයේ පෙනී සිටීමට සැලැස්වීමට වග බලා ගැනීම ඇපයක් විදිහට සමහරු හඳුන්වනවා. ඒක හරියට කෙනෙක් වෙනුවෙන් කැප වෙනවා වගේ වැඩක්. තවත් විදිහකට කියනවා නම් යම් පුද්ගලයෙක් නඩු විභාගයට පෙනී සිටීම සඳහා තාවකාලිකව අත්අඩංගුවෙන් නිදහස් කිරීමයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධමය වරදකට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙක් පැය 24 කට වඩා වැඩි කාලයක් අධිකරණය ඉදිරියට ඉදිරිපත් නොකර පොලිස් අත්අඩංගුවේ තබා ගන්න බැහැ. හැබැයි එහෙම පුළුවන් අවස්ථා ද නැතුවාම නෙවෙයි.

{ (2005 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මෙන්ම 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ද දැක්විය හැකියි. අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට අනුව සැකකරුවෙකු රඳවා තබා ගැනීමේ උපරිම කාල සීමාව පැය 48 ක් වන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතට අනුව එම කාල සීමාව පැය 72 ක්.}


ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධයෙන් බලපැවැත්වෙන පනත් කෙටුම්පත්,

1. 1997 අංක 30 දරණ ඇප පනත,

2. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය   


1997 අංක 30 දරණ ඇප පනත

එහි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 402 වන වගන්තිය ‘ඇප දිය හැකි වැරදි සම්බන්ධයෙන් ඇප දිය යුතුය’ යන්න දැක්වෙනවා. එමෙන්ම එහි 403 වන වගන්තිය මඟින් ඇප දිය නොහැකි වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගත හැකි අවස්ථා සඳහන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 404 වන වගන්තිය දක්වන ආකාරයට සැකකරුවෙකුට අධිකරණය මඟින් ලබා දෙන ඇපය වැඩි නොවිය යුතුයි. එම වගන්තිය මඟින් තවදුරටත් ඇප දීම සම්බන්ධයෙන් අධිකරණ සතු පහත බලතල ද තිබිය යුතුයි.

- ඇප මත මුදාහල අයෙකු නැවත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුට හෝ මහේස්ත්‍රාත්වරයෙකුට විධාන කිරීමට අභියාචනාධිකරණයට හැකි බව.

- මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද ඇපය නුසුදුසු යැයි හැඟෙන්නේ නම් එය වැඩි කිරීමට හෝ අඩු කිරීමට මහාධිකරණයට හැකි බව

- එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 405 වන වගන්තිය මඟින් චූදිතගේ සහ ඇපකරුවන්ගේ ඇප කොන්දේසි පිළිබඳව දක්වන අතර 405(2) වගන්තිය අනුව ඇප ලැබූ තැනැත්තා නඩුවට අවශ්‍ය වන සෑම විටෙකම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි.

- 406 වගන්තිය දක්වන ආකාරයට ඇප බැඳුම්කරයට අත්සන් කිරීමෙන් පසුව චූදිතව මුදාහැරිය යුතු වන අතර අදාළ චූදිත බන්ධනාගාර රැඳවියෙකු නම් අදාළ චුදිතයා සම්බන්ධයෙන් අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරියා වෙත මුදා හැරීමේ ආඥාවක් නිකුත් කළ යුතු වෙනවා.


ඇප බැඳුම්කරයට අත්සන් කරන අයගේ වගකීම

- යම් සැකකරුවෙක් වෙනුවෙන් ඇප බැඳුම්කරයකට අත්සන් කරන පුද්ගලයෙකුට ද විශාල වගකීමක් පැවරෙනවා.

- ඇප බැඳුම්කරයකට අත්සන් කරන පුද්ගලයෙකුගේ ප්‍රධානම වගකීම වන්නේ අධිකරණය ඉල්ලා සිටින සෑම අවස්ථාවක දීම චූදිතයව අධිකරණය ඉදිරියට පැමිණවීමයි.

- එසේ ඇප බැඳුම්කරයකට අත්සන් කළා වුව ද චුදිතයා කෙරෙහි තමාගේ විශ්වාසයක් නොමැති නම් අදාළ පුද්ගලයාට තමාව බැඳුම්කරයෙන් නිදහස් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකියි.


ඇප වර්ග මොනවද?

- මුදල් ඇප

- සහතික ඇප

- පෞද්ගලික ඇප

- ශරීර ඇප

- පොලිස් ඇප

- අපේක්ෂිත ඇප


මුදල් ඇප

මුදල් ඇප කියන්නේ බැඳුම්කරයක සඳහන් වන මුදල අධිකරණය ඉදිරියේ තැන්පත් කර චූදිතයා වෙනුවෙන් ඇප වීමයි.

සහතික ඇප

මෙය දේපළ ඔප්පුවක් ඇපයට තබා චූදිතයා වෙනුවෙන් ඇප වීමයි.

පෞද්ගලික ඇප

මෙහිදී අදාළ සැකකරු විසින්ම ඇප බැඳුම්කරයට අත්සන් කිරීම කළ යුතුයි. මෙහිදී ඉහතින් සඳහන් කළ මුදල් ඇපයක් හෝ සහතික ඇපයක් ඉදිරිපත් කිරීමක් සිදු වන්නේ නැහැ. 

ශරීර ඇප

ශරීර ඇප කියන්නේ යම් සැකකරුවෙකු වෙනුවෙන් වෙනත් අයෙකු ඇප වීම. මෙය යම් වටිනාකමක් ගන්නා අතර මෙවැනි ඇප වීමකදී ඇප කොන්දේසි කඩ කරන්නේ නම් ඇප වූ මුදල අධිකරණයට ගෙවීමට ඇපකරුවෝ බැඳී සිටිනවා. 

අපේක්ෂිත ඇප

1997 අංක 30 දරණ ඇප පනතේ 21 වන වගන්තියේ සඳහන් කරන ආකාරයට ඇප දිය නොහැකි වරදක් සිදුකර ඇති විට හෝ තමන් එවැනි වරදක් සිදු කර ඇති බවක් හැඟෙන්නේ නම් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණයට භාර වී ඇප ලබා ගැනීම මේ නමින් හඳුන්වයි.

සැ.යු :- ඇප පනතේ 13 වන වගන්තිය දක්වන ආකාරයට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති අයෙකුව හෝ සැක කරන අයෙකුව මහාධිකරණ විනිශ්චයකාරයෙකු හැර වෙනත් අයෙකුට ඇප මත මුදා හැරිය නොහැකියි.