ඉන්දියාවට පමණක් දෙවෙනි වූ ලංකාව ගොඩගැනීමට GMOA වෙතින් සය වැදෑරුම් යෝජනාවලියක්

Food Shortages Sri Lanka GMOA Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 01, 2022 04:01 AM GMT
Report

පවතින ආර්ථික අර්බුදය හමුවේ වඩාත් තීව්‍ර වෙමින් ඇති ළමා මන්දපෝෂණය හරහා අනාගතයට සිදුවන දරුණු හා අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සය වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය පොදු ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති පසුබිමක අඩු ආදායම්ලාභි ප්‍රජාවට මේ හරහා ඇති වන බලපෑම අති විශාල බව දන්වා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පවතින අර්බුදය තුළ තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබඳව ජනතාවගෙන් අති බහුතරයක් ගෙන ඇති ප්‍රධාන තීරණ දෙකක් සඳහන් කරනවා.

එනම්, ආහාර වේල් ගණන අඩු කිරීම හා ප්‍රමාණාත්මකව ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම සහ ආහාර වේලකට යන වියදම අඩු කර ගැනීම සඳහා ආහාරයේ ගුණාත්මක බව අඩු කර ගැනීමයි. තව ද මන්දපෝෂණයේ ප්‍රධාන ම බලපෑම එල්ලවිය හැක්කේ ළදරුවන්ට හා ළමුන්ට බවත්, මීට අමතරව ගර්භනි මව්වරුන් අරභයා ද විශේෂිත අවදානම් තත්ත්වයක් මතුව පවතින බවත් අනාගතයේ ශ්‍රම බලකාය බවට පත් වීමට සිටින අද දවසේ ළමා පරපුර මන්දපෝෂණයට ගොදුරු වීම සමස්ත රටේ ඉදිරි ගමන පිළිබඳව අදුරු චිත්‍රයක් මවා පාන බව කියා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් කියා සිටින්නේ, ළදරු හා ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ යාම හරහා රටේ අනාගතය කෙරෙහි සිදු කරන බලපෑම තීරණාත්මක බව‍යි.

ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන පරිදි දකුණු ආසියාව තුල මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවැනි වනුයේ ඉන්දියාවට පමණි.  

එම තත්ත්වයන් හේතු කොට ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පහත වැඩපිළිවෙල යෝජනා කර සිටිනවා. එනම්,

1. ගුණාත්මක හා පෝෂ්‍යදායි ආහාරයක් තෝරා ගැනීම පිළිබඳව වූ මුලික දැනුම සමාජය වෙත ලබා දීමේ ජාතික වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් වහා ම ඉදිරිපත් විය යුතුය. එහි දී සාපේක්ෂව මිල අඩු ආදේශක ආහාර පිළිබඳවත්, ගුණාත්මක ප්‍රෝටින්මය ආහාර ප්‍රභව හඳුන්වා දීම කෙරෙහිත් මෙහිදි විශේෂ අවධානය යොමු විය යුතුය.

2. පළාත්, දිස්ත්‍රික් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් අවදානම් කණ්ඩායම් හඳුනා ගැනීම පිණිස නිවැරදි සමීික්ෂණයක් සිදුවිය යුතු අතර හදුනාගන්නා අවදානම් කණ්ඩායම් ඉලක්ක කරගත් ප්‍රායෝගික මැදිහත්වීම් සඳහා වහාම වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්විය යුතුය.

3. ළදරු, ළමා කණ්ඩායම් හා ගර්භණි මව්වරුන් අතර සිටින අඩු ආදායම්ලාභි කණ්ඩායම් වෙත ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත පෝෂණ මල්ලක් ඇතුලත් සහන පැකේජයක් වහා ම හදුන්වා දිය යුතුය.

4. පවතින අර්බුදකාරි තත්ත්වය තුල සහන සැලසිමට මුවාවෙමින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන හා අනාගතයේදි දියවැඩියාව ඇතුලු බෝ නොවන රෝග සඳහා ඇති අවදානම ඉහළ නංවන ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීම සීමා කිරීමට නිවැරදි තාක්ෂණික මැදිහත්වීමක් සහිතව කටයුතු කළ යුතුය.

5. පාසල් දරුවන් ඉලක්ක කරගත් පාසල් දිවා ආහාර වැඩසටහන වඩාත් ශක්තිමත් හා ප්‍රායෝගික වැඩසටහනක් බවට පත්කර අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය.

6. සමස්ත ආහාර අර්බුදය කලමණාකරණය කර ගනිමින් මන්දපෝෂණය ළමා පරපුර කෙරෙහි ඇති කරන අනාගත බලපෑම අවම කිරීම සඳහා අන්තර් පාර්ශ්වික සහභාගිත්වය සහිත විශේෂිත ජනාධිපති කාර්යසාධක බලකායක් වහා ම ස්ථාපිත කළ යුතුය. යන කාරණායි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW