මැතිවරණ ක්‍රියාවලියේ හා කළමනාකරණ ක්‍රමෝපායේ ගමන් කරුවන් හා සංශෝධනයන්…

Election Commission of Sri Lanka 2022 France presidential election Mahinda Deshapriya
By Subodha May 28, 2022 05:56 AM GMT
Subodha

Subodha

in රචනා
Report

1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාව හා 1946 පළාත් පාලන ආඥා පනත පැනවීමෙන් පසු 1947 දී පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සඳහා කොමසාරිස්වරයෙකු යටතේ පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබ ඇත. එමෙන්ම පළාත් පාලන (ප්‍රාදේශීය මණ්ඩල) ආයතන ඡන්ද විමසීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව තවත් කොමසාරිස්වරයෙකු යටතේ පිහිටුවනු ලැබීය.

මේ අනුව 1947 – 1955 ඔක්තෝබර් දක්වා දෙපාර්තමේන්තු දෙකකින් කොමසාරිස්වරු දෙදෙනෙක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන සභිකයන් තෝරා පත්කිරීමට ක්‍රියාකර ඇත. ඒ අනුව 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය හා 1952 දෙවන පාර්ලිමේන්තු මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලදී. පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව විසින් අදාළ කාලය තුළ පළාත් පාලන ඡන්ද විමසීම් ද පවත්වන ලදී.

එම කාලයේ සිට  මේ දක්වා පැවති මැතිවරණ ක්‍රියාවලියේ හා කළමනාකරණ ක්‍රමෝපායේ ගමන් කරුවන් හා සංශෝධනයන් පහතින් දැක්වේ.

  • ඒ. අරූල්ප්‍රගාසම් මහතා - 1955.10.01 – 1957.03.06

මැතිවරණ දෙපාර්තමේන්තුවේ පළමු වන කොමසාරිස්වරයා වශයෙන් පත් වූයේ ඒ. අරූල්ප්‍රගාසම් මහතාය. ඔහු මෙම ධූරයට පත්වීමට ප්‍රථම, පළාත් පාලන මැතිවරණ කොමසාරිස් ධූරය හෙබවීය. ශ්‍රී ලංකාවේ තුන්වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ ඔහුගේ සේවා කාලය තුළය. මෙම කාලය තුළ සිදු වූ විශේෂ සිදුවීම් අතර,

1. 1956 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම; මෙම මැතිවරණය දින තුනක් තුළ පවත්වන ලදී.

2. ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘතිය (බී.සී ආකෘතිය) ගෘහ මූලිකයා විසින් අත්සන් කර භාරදීමේ ක්‍රමය ආරම්භ වීම.

3. එතෙක් අකාරාදී පිළිවෙලට අනුව පිළියෙල කල ඡන්දහිමි නාමලේඛනය ගෘහ අංක අනුපිළිවෙලට අනුව පිළියෙල කිරීම. යන සිද්ධීන් වැදගත් වේ. 

  •  ඊ.එෆ්. ඩයස් අබේසිංහ මහතා - 1957.03.07 – 1978.03.15

ඊ.එෆ්. ඩයස් අබේසිංහ මහතා මැතිවරණ කොමසාරිස් ධූරයට 1957.03.07 වන දින පත් විය. අරූල්ප්‍රගාසම් මහතා විශ්‍රාම ගැනීම නිසා එම ධූරය පුරප්පාඩු විය. ඉතා දිගු කලක් සේවයේ නියුතුව සිටි අබේසිංහ මහතා 1978.03.15 දින විශ්‍රාම ගත්තේය. මේ කාලය මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශේෂ සිදුවීම් රැසක් සිදුවූ යුගයක් ලෙස සැලකේ.

එමෙන්ම මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ නීති රීති හා නවාංග එක්වූයේ මෙම කාල සීමාව තුළදීය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භක අවස්ථාවේ සිට ක්‍රමයෙන් වර්ධනය වීම මෙහිලා දක්නට ඇති විශේෂ ලක්ෂණයකි. ඒ අනුව ආයතන ප්‍රධානියා වශයෙන් අවශ්‍ය නීතිමය පසුබිම මෙන්ම මැතිවරණ කළමනාකරණය විධිමත් කිරීමට ඔහු ක්‍රියා කළ බව දැකිය හැක. එම කාල සීමාව තුළ සිදු වූ වැදගත් සිද්ධීන් පහත දැක්වේ.

1. පාර්ලිමේන්තු මැතිවරණය එක් දිනයක් තුළ පැවැත්වීම ආරම්භ කිරීම.(1960 මාර්තු මැතිවරණය) ඊට පෙර 1947 වර්ෂයේ පැවති පළමුවන පාර්ලිමේන්තු මැතිවරණය දින 19 ක් තුළ පවත්වා ඇත. 1952 වර්ෂයේ පැවති දෙවන පාර්ලිමේන්තු මැතිවරණය දින 04 කින්ද, 1956 වර්ෂයේ පැවති තුන්වන පාර්ලිමේන්තු මැතිවරණය දින 03 කින්ද, පවත්වා නිමකර ඇත. ඒ අනුව මැතිවරණය එක් දිනකින් පැවැත්වීම ආරම්භ කිරීම සුවිශේෂී වේ. 1960 මාර්තු සිට මේ දක්වා පැවති සියලුම පාර්ලිමේන්තු මැතිවරණ ජනමත විචාරණ එක්දින මැතිවරණ වශයෙන් පවත්වන ලදී.

2. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා පිළිගත් දේශපාලන පක්ෂ ක්‍රමය හඳුන්වා දීම.

3. ඡන්ද හිමියන් වෙත නිල ඡන්ද දැන්වීම් පත් යැවීම හා ඡන්දය පැවැත්වෙන දිනය, ඡන්ද පොළ, ලියාපදිංචි අනුක්‍රමික අංකය හා ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලය ආදී තොරතුරු මෙම දැන්වීම මගින් ඡන්දහිමියාට දැනුම් දීම.

4. අත්‍යවශ්‍ය සේවා වල නිරත වන අයට තැපෑලෙන් ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීම.

5. 1960 මාර්තු සිට 1977 දක්වා මහ මැතිවරණ 05 ක් හා පළාත් පාලන ඡන්ද විමසීම් රාශියක් පැවැත්වීම.

6. 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීම. මේ යටතේ අග්‍රාණ්ඩුකාරයා වෙනුවට නාමික ජනාධිපතිවරයෙකු පත්කිරීම, පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කිරීම, උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි වීම ආදී වෙනස්කම් සමග ඊට අදාළ වන පරිදි මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති ඇතුළු වෙනස්කම් ඇති කිරීම. ජාතික රාජ්‍ය සභාවේ කාලය අවුරුදු 06ක් වශයෙන් වැඩි කිරීම. 

  • එම්.ඒ. පියසේකර මහතා - 1978.03.16 – 1982.01.31 

එම්.ඒ. පියසේකර මහතා - 1978.03.16 – 1982.01.31 සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස් ධූරයට 1978.03.16 වන දින පත් විය. මෙම කාලය තුළ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සිදුව ඇති විශේෂතා අතර පහත සඳහන් කාරණා සඳහන් කළ හැකිය.

1. 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීම හා මේ යටතේ අලුතින් ජනාධිපතිවරණය, ජනමත විචාරණය වැනි මැතිවරණ ක්‍රම හඳුන්වා දීම.

2. ඡන්දය ප්‍රකාශ කිරීමේදී පක්ෂයට ඡන්දයක් හා අපේක්ෂකයන්ට මනාපය පළ කිරීමේ නව ක්‍රමයක් හඳුන්වා දීම.

3. 1980 අංක 35 දරන සංවර්ධන සභා පනත සම්මත කිරීම තුළින් නව පළාත් පාලන ආයතන විශේෂයක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම හා ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම.

4. 1981 සංවර්ධන සභා ප්‍රථම ඡන්ද විමසීම පැවැත්වීම. මැතිවරණ කොමසාරිස් පියසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයකට වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරු දෙදෙනකු වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්, එල්.ඒ.ජී. ජයසේකර මහතා 1982.02.01 – 1982.03.24 දක්වා ද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වූ එස්.එල්. මරික්කාර් මහතා 1982.03.25 – 1982.05.03 දක්වා ද පත් කරනු ලැබූහ. 

  • ආර්.කේ. චන්ද්‍රානන්ද ද සිල්වා මහතා - 1982.05.04 – 1995.02.18

ආර්.කේ. චන්ද්‍රානන්ද ද සිල්වා මහතා 1982.05.04 දින මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කරන ලදී. ඔහු එම ධුරයට පත්වීමට පෙර සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු වශයෙන්ද මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කර තිබිණි. මේ කාලය මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉතා කාර්ය බහුල යුගයක් විය. රටේ දේශපාලනිකව පැවැති අර්බුදකාරී තත්වය මෙන්ම භීෂණකාරී යුගයක් පැවතීම නිසා මැතිවරණ කටයුතු සිදු කිරීමේදී විවිධ ගැටලුකාරී තත්වයන් පැවැතියේය. මෙම කාලය තුළ නව මැතිවරණ මහලේකම් කාර්යාලයක් ඉදිකිරීම නිසා මෙතෙක් කුලී පදනමින් කාර්යාල ඉඩකඩ සපයා ගැනීම අවසන් විය. චන්ද්‍රානන්ද ද සිල්වා මහතාගේ ධූර කාලය තුළ පහත සඳහන් කරුණු වැදගත් වේ.

1. ප්‍රථම ජනමත විචාරණය පැවැත්වීම. (නව ජනමත විචාරණ පනත යටතේ)

2. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සම්මත වීම හා ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් නීතිය සම්මත වීම.

3. 1988 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කිරීම හා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ ප්‍රථම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම: පළාත් සභා ඡන්ද විමසීමේදී මනාප ක්‍රමය අලුතින් හඳුන්වා දෙන ලදී.

4. ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීම. ( ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත)

5. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම හා ඊට අදාළව පළාත් සභා ඡන්ද විමසීම් ආරම්භ වීම.

6. 1988 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම. මෙම මැතිවරණයද සමානුපාතික නියෝජන ක්‍රමය හා මනාප ක්‍රමය යටතේ පැවැත්විණි.

7. දෙවන පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම.

8. දෙවන ජනාධිපතිවරණය පැවැත්වීම. 9. 1994 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම.

  • දයානන්ද දිශානායක මහතා - 1995.02.18 – 2011.03.26 

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වශයෙන් සේවය කළ දයානන්ද දිශානායක මහතා 1995.02.18 වන දින මැතිවරණ කොමසාරිස් ධූරයට පත්කරන ලදී. 2000, 2004 පාර්ලිමේන්තු මැතිවරණ, 2005, 2010 ජනාධිපතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම් රාශියක් මේ කාලයේ පැවැත්විණි. මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමසාරිස් තනතුර වෙනුවට "මැතිවරණ කොමිෂන් සභාවක්" පිහිටුවීම සඳහා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතිමය ප්‍රතිපාදන සැලසිණ. ඒ අනුව සාමාජිකයන් 05කින් සමන්විත කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු විය.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන තෙක් ධූරය දැරිය යුතු වූ හෙයින් බොහෝ කාලයක් එම ධූරයේ රැඳී සිටීමට දිශානායක මහතාට සිදුවිය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම නීති ප්‍රතිපාදන ඉවත් කරන ලදී. ඒ අනුව 2011.03.25 දින දිශානායක මහතාට විශ්‍රාම ලැබිය හැකි විය.

  • මහින්ද දේශප්‍රිය මහතා - 2011.03.26- 2015.11.16 

2011.03.26 වන දින හයවන මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මහින්ද දේශප්‍රිය මහතා පත්වේ. 1983 සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කළ දේශප්‍රිය මහතා ඉතා දිගු කලක් දෙපාර්තමේන්තුවේ අඛණ්ඩව සේවය කළ නිලධාරියෙකි. එමෙන්ම දෙපාර්තමේන්තුවේ අවසන් කොමසාරිස්වරයා වූයේද මහින්ද දේශප්‍රිය මහතාය. මේ කාලය තුළ පහත දැක්වෙන නවාංග රැසක් හා විශේෂ ක්‍රියාකාරකම් රැසක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය යටතට එක් කරන ලදී. 

1. මැතිවරණ හා ඡන්ද විමසීම් පැවැත්වීමේදී පොලීසිය ක්‍රියාකාරීව එම කටයුතු සඳහා යෙදවීම මගින් මැතිවරණ වැරදි හා නීති විරෝධී ක්‍රියා අවම කිරීම.

2. වසරක් පුරා සිදු කරන ලද ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය හා සහතික කිරීම මාස 06 පමණ කාලයකින් නිම කිරීම.

3. මැතිවරණ පැමිණිලි විමර්ශනය කිරීමේ නව වැඩපිළිවෙලක් ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම.

4. "ඡන්දහිමියන්ගේ දිනය" වශයෙන් ජූනි මස 01 වන දින නියම කිරීම.

5. ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම.

6. දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයේ "සභාපති ධූරය" ලංකාවට ලැබීම.

7. මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය පැවැත්වීම.

8. ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාශියක් පැවැත්වීම.

9. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම සඳහා නව නීති සම්පාදනය සිදු කිරීම: ඒ යටතේ මැතිවරණ කොමිෂන් සභාව සඳහා සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2015 නොවැම්බර් මස 13 වන දින පත්කරන ලදී. ඒ අනුව 2015 නොවැම්බර් මස 17 වන දින මැතිවරණ කොමිෂන් සභා සාමාජිකවරුන් සිය ධූරයන්හි රාජකාරී භාර ගැනීමත් සමග කොමිෂන් සභාව පිහිටවුණු අතර මැතිවරණ දෙපාර්තමේන්තුව සිය හැටවන වියෙහිදී අහෝසි විය.

  • නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා - සභාපති, මැතිවරණ කොමිෂන් සභාව 

1976 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය සමත්ව 1979 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දෙන ලදී. නිමල් ජී. පුංචිහේවා මහතා ඉන් අනතුරුව පළාත් පාලන සේවයට එක්ව කඩුවෙල ගම්කාර්ය සභාවේ ලේකම් ලෙස කටයුතු කර ඇත. ඉන් පසුව සමුපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජික, ලංකා ධීවර සංස්ථාවේ සභාපති, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ, ජාතික කර්මාන්ත හා පුහුණු කිරීමේ අධිකාරියේ උප සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ සහ අතිරේක ලේකම් (නීති) ආදී තනතුරු හොබවමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ද කටයුතු කර ඇත.

නීති හා මානව හිමිකම් ක්ෂේත්‍රයට අදාළව පොත්පත් හා ලිපි ලේඛන රාශියක් පළකොට ඇති අතර, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රාශියක කටයුතු වලට දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙස් විදෙස් වැඩමුළු හා සම්මන්ත්‍රණ රාශියකට සහභාගි වී ඇත. 2016 වර්ෂයේ සිට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තනතුරට පත්වූ දින දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති අතර, එම කාල සීමාවේදී මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නීති උපදෙස් ලබා දීමත් මැතිවරණ හා ඡන්දහිමියන් ලියාපදිංචිය පිළිබඳ නීති ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කිරීම සඳහාත් තම සක්‍රීය දායකත්වය ලබා දී ඇත. 



 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery