මිහිතලයේ මිනිසුන් අතහැර දැමූ ලොව ජනප්‍රිය තැන්...

By Subodha Jun 30, 2022 04:05 AM GMT
Subodha

Subodha

in රචනා
Report

මිහි මත අධිකාරීත්වය දරන මිනිසාගෙන් තොර බිම්කඩක් මේ මහා පොළොව මත වේ නම් ඒ ඇන්ටාක්ටිකාව, ඇමසන් වැනි නොඉඳුල් වනාන්තර හා සාගර කලාප වැනි ඉතාම අල්ප වූ කොටසක් පමණි. ඒ හැර අන් සෑම තැනකම මිනිසා සිය බලාධිකාරිය පතුරුවා අවසන්ය. බිලියන හතක මේ මහා මිනිස් ජනකාය විසින් ගෙවෙන සෑම මොහොතක් පාසාම පෘථිවිය මත ඇති කරන බලපෑම බොහෝ විට විනාශකාරී වූවකි. යම් හෙයකින් සමස්ත මිනිස් සංහතියම මේ මිහිමතින් එක් ක්ෂණයකදි අතුරුදන් වුවහොත් කුමක් වනු ඇතිද?

විවිධ ප්‍රදේශවල ඇති අත්හැර දැමූ නිවාස, ගොඩනැඟිලි සහ වෙනත් ස්ථාන ඔබ දැක ඇති. ඒවා සමඟ බැඳුණු, දුක මෙන් ම සතුට රැඳුණු සිදුවීම් ද තිබේ. පසුගිය කාලය පුරාවට පැවැති සිවිල් යුද්ධයෙන් පීඩා විඳි උතුරු සහ නැගෙනහිර පළාතේ ඇති එවැනි අත්හැර දැමූ නිවෙස්, පාසල් සහ වෙනත් ගොඩනැඟිලි, දකින ඕනෑම කෙනකුට ඇති වන්නේ කම්පාවකි.

අපේ රටේ පමණක් නොව ලොව බොහෝ රටවල මෙවන් ආකාරයෙන් අත්හැර දමා ඇති එවැනි නගර, නටබුන් බවට පත් වී ඇති නිවෙස් සහ ගොඩනැඟිලි හද කම්පා කරවන මතකයන් ද රැසක් දරා සිටියි. මෙම නගරවලින් බොහොමයක් අත්හැර දැමීමට හේතු වී ඇත්තේ විවිධ යුද ගැටුම් වැනි සිදුවීම් නිසා වේ.

1. වරෝෂා වෙරළ තීරය

1970 දශකය වන විට සයිප්‍රසයේ වරෝෂා වෙරළ තීරය සුපිරි ධනවතුන් විනෝදාස්වාදය සඳහා නිතර ආ ගිය තැන්වලින් එකක් විය. සංචාරකයන් බහුලව ගැවසුණු මෙම ප්‍රදේශයේ සුපිරි පන්තියේ හෝටල් සහ ආපනශාලා වැනි ස්ථාන රැසක් ද පිහිටා තිබිණි. මෙම වෙරළ තීරය ධනවතුන් අතර කෙතරම් ප්‍රසිද්ධ වූවාද යත් එලිසබෙත් ටේලර් සහ බ්‍රිජිට් බාර්ඩෝ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙහි පිහිටි හෝටල්වල නවාතැන් ගෙන තිබේ. 

1974 දී ග්‍රීසියේ අනු දැනුම මත කුමන්ත්‍රණයක් සිදු වූ අතර, ඉක්බිතිව තුර්කිය විසින් උතුරු සයිප්‍රසය ආක්‍රමණය කරන ලදී. එම අවස්ථාවේ ගැසිමැග්‍යුසා ප්‍රදේශයේ විසූ ග්‍රීක-සයිප්‍රස් වැසියන් පලාගිය අතර, පසුව තුර්කි හමුදාව විසින් කම්බි වැටකින් වටකොට මෙම නගරය අත්හැර දමනුලැබිණි. එතැන් සිට එම නගරය මේ දක්වා වසර 46ක් ජන ශුන්‍යා කාරයෙන් තිබේ. සයිප්‍රස් - කොදෙව්වේ බෙදීම සිදු වූ 1974 දක්වා එහි දකුණු ප්‍රදේශය ග්‍රීක-සයිප්‍රස්වැසියන්ගෙන් ද, උතුරු ප්‍රදේශය තුර්කි-සයිප්‍රස්වැසියන්ගෙන් ද ප්‍රධාන වශයෙන් ජනාවාස වී තිබිණි.

2.හෂිමා දූපත

ජපානය හෂිමා දූපත වර්තමානය වන විට ගරාවැටෙන පාළු ගොඩනැඟිලිවලින් පිරුණු එකක් වුවත් දශක කිහිපයකට පෙර එය ජපානයේ වඩාත් ජනාකීර්ණ ස්ථාන අතරින් එකක් විය. නාගසාකි වෙරළට මදක් ඔබ්බෙන් වූ මේ කුඩා දූපත,ගල් අඟුරු ආකරවල සේවය කළ පුද්ගලයන් පදිංචි වීමත් සමග 1887 සිට ජනාවාසකරණය විය. පසුව මිට්සුබිෂි සමාගම මිල දී ගත් මෙහි බහුමහල් ගොඩනැඟිලි ගණනාවක් ඉදි විය. ඒ වන විට මෙහි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. දෙවැනි ලෝක යුද සමයේ දහස් ගණනක් කොරියානු සහ චීන යුද සිරකරුවන් මෙම දූපතේ ගල් අඟුරු කැණීම්වල නිරත වීමත් සමඟ එහි ජනගහණය තව තවත් ඉහළ යන්නට විය. 1950 දශකය වන විට අක්කර 16ක් තරම් කුඩා දූපතක් වූ මෙහි 5,200කට වැඩි පිරිසක් ජීවත් වී තිබේ. කෙසේ වෙතත් 1974 දී ගල් අඟුරු කැණීම අත්හිටුවීමත් සමඟ මෙය ජනශුන්‍ය දූපතක් බවට පත් විය.

3.ප්‍රිප්යාට්

එවකට සෝවියට් සමුහාණ්ඩුව යටතේ පැවැති වර්තමාන යුක්‍රේනයේ, චර්නොබිල්හි පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් තුළ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍යයක් දියවීම නිසා විශාල පිපිරීමක් 1986 අප්‍රේල් 26 දින සිදු විය. ඒ සමඟ ම එහි ගබඩා කර තිබූ විකිරණශීලි ද්‍රව්‍ය මුසු වූ වාතය, මෙම බලාගාරයේ සේවය කළ විද්‍යාඥයන් සහ කම්කරුවන් ජීවත් වූ නගරයක් වන ප්‍රිප්යාට් දෙසට හමා යන්නට විය. එදින එහි ජීවත් වූ 50,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර ඒ සඳහා පැය 36ක කාලයක් ගත විය. මෙම ව්‍යසනය නිසා ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු නොවූවත්, නගරයේ ජීවත් වූ අය විකිරණශීලි ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් දිර්ඝකාලීන රෝගවලින් පීඩා වින්දහ.

මෙම සිදුවීමෙන් පසු රුසියානු බලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිප්යාට් නගරයට මුද්‍රා තැබූ අතර එතැන් පටන් මේ දක්වා එය අත්හැර දමා ඇත. එහි පිහිටා තිබූ සුඛෝපබෝගී ගොඩනැඟිලි, ක්‍රීඩා සංකීර්ණ සහ එළිමහන් උද්‍යාන ආදී සියල්ල මේ වන විට විනාශ වී ගොස් ඇත. නගරයේ පිහිටි අබලන් වී ගිය තැපැල් කාර්යයාලය තුළ ලිපි සිය ගණනක් තව ම දැකිය හැකි ය. මෙම නගරයේ ඇති විකිරණ මට්ටම තරමක් දුරට පහළ බැස ඇති බැවින් ගවේෂකයන්ට සහ එහි පදිංචි වී සිටි පුද්ගලයන්ට කෙටි වෙලාවක් සඳහා ඊට ඇතුළු වීමට අවසර දැන් ලැබේ. කෙසේ වෙතත් ප්‍රිප්යාට් ජීවත් වීමට සුදුසු තත්ත්වයට පත් වීමට තවත් සියවස් ගණනාවක් ගත වනු ඇතැයි විද්‍යාඥයන් පවසා තිබේ.

4. ඔරඩෝර්-සර්-ග්ලේන්

දෙවැනි ලෝක යුද්ධය අතරතුර 1944 ජූනි 10 දින දී මෙහි ජීවත් වූ ජනතාවගෙන් බොහෝ පිරිසක් සමූල ඝාතනයට ලක් වූහ. ප්‍රංශයට එරෙහිව නැගී ආ ප්‍රතිරෝධයට ඔවුන් සහාය දක්වන බවට පැතිරුණු මතයක් හේතුවෙන් හමුදා සෙබළුන් පැමිණ මෙහි ජීවත් වූ පුද්ගලයන් 642ක් ඝාතනය කර ඔවුන්ගේ නිවෙස්වලට ගිනි තැබූහ. පිරිමි පුද්ගලයන් ධාන්‍ය ගබඩාවලට ගෙන ගොස් ඒවායේ ඇඹරුම් යන්ත්‍ර යොදාගෙන ඝාතනය කළ අතර කාන්තාවන් සහ කුඩා ළමයින් දේවස්ථානයක සිරකොට පුපුරන ද්‍රව්‍ය යොදාගෙන ඝාතනය කළහ. ප්‍රහාර හමුවේ මැරුණු සේ රඟපෑ ගම්වැසියන් කිහිප දෙනෙක් පමණක් දිවි බේරා ගත් බව කියැවේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නව ඔරඩෝර්-සර්-ග්ලේන් නගරයක් ඒ ආසන්න වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කිරීමට ප්‍රංශ බලධාරීහු කටයුතු කළහ. කෙසේ වෙතත් සමූල ඝාතනයට ලක් වූ ගම්වැසියන් සිහිවීම පිණිස විනාශ වී ගිය නිවෙස් ද සහිත ගම්මානය එලෙසින්ම සුරක්ෂිත ව තබන්නැයි එවකට ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් නියම කළේ ය. පිළිස්සී ගිය ගොඩනැඟිලි, මලකඩ කෑ වාහන සහ මහන මැෂින් ඇතුළු බොහෝ දෑ අදටත් මෙහි දැකිය හැකි ය.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now